online-walallavita-laptop
වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා SLTමොබිටෙල් සමාගම ඒකාබද්ධව එක් මධ්‍යස්ථානයකට පහ බැගින් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය සදහා අවශ්‍ය Laptop පරිගණක දහයක් ප්‍රදානය කර තිබේ.


මෙදින උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිගණක දහයක් දී
දරුවන් පරිගණක පරිහරණය කිරීමේ දර්ශන සේයා රූ හා වීඩියෝ ගත කළද අමුත්තන් ගිය පසුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත ලබාදුන් අය එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියෝ චෝදනා කරති.
පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්‍ර පහ ගුරුමහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන ගිය බවත් දෙමව්පියන් වැඩි දුරටත් කියා තිබේ.



මෙසේ පැවති උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක ඇතුලු මහත්වරුන්ද එක්ව සිට තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක කොටසක මෙසේ දැක්වේ.
‘මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබිය හැකි මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ මූලිකත්වයෙන් හා මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
එහිදී මා විසින් එක් මධ්‍යස්ථානයකට පහ බැගින් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය සදහා අවශ්‍ය Laptop පරිගණක දහයක් ප්‍රදානය කල අතර‘


මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් කලාප අධ්‍යක්ෂක දිසානායක මහතා මෙසේ පැවසීය.

අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ.

මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතර ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න.

ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර් දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන් ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා.. මේ ක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..

ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි.

(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)

7.30pm පසු සටහන-

උත්සවයේදී මෙම ලැප්ටොප් පරිගණක ලබාදී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශය වන අතර SLT-MOBITEL ආයතනය ඊට සම්බන්ධවී නැත.
මෙම පුවත පළවීමෙන් පසුව එම ආයතනය නිල නිවේදනයක් මගින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එහි මෙසේ දැක්වේ.
‘SLT-MOBITEL ආයතනය විසින්  අදාළ පාසලට පිරිනැමුණු පරිත්‍යාගයට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක්, තිරයක් සහ Wi-Fi සබඳතාවක් අයත් වූ අතර, එම සියලු උපකරණ මේ දක්වා එම පාසල තුළ, එහි සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පවතින බවත් වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමු. ‘