ishini-chamila-story

ආන්දෝලනයට තුඩුදී ඇති 15 හැවිරිදි දැරියගේ සිද්ධියට සම්බන්ධ විස්තර ගණනාවක් නම් ගම් සහිතව දැන් හෙළිදරව් වී අවසන්ය. පහත පළවන්නේ ඒ පිළිබඳ වාර්තාවයි.

ඇය උපන්නේ දෙදහස් පහ වසරේ අගෝස්තු 26 වැනිදාය. සුන්දර දැරියක වූ ඇය දෙමාපියන් සමග හැදී වැඩුණේ ගම්පහ දෙල්ගොඩ ඔවුන්ගේ නිවසේය. ඉගෙන ගත්තේ ගම්පහ ප්‍රදේශයේ පාසලකිනි. රෝස මලක් වන් දැරියකට අම්මා තාත්තාගේ සෙනෙහස රැකවරණය උපරිමයෙන් ලැබෙන මුත් ‘ඇය’ ඒ අතින් අවාසනාවන්ත දැරියක වූවාය. ඇයට අම්මාගේ සේම තාත්තාගේද රැකවරණය ආදරය අහිමි වූයේ කුඩා වියේ පටන්ය. ඒ නිසාම 2013 වසරේ අවුරුදු අටක් වද්දී පියාගේ මිතුරෙකු ඇයව ලිංගික අතවරයකට ලක් කළේය. ඒ සිදුවීම පිළිබඳව මීගහවත්ත පොලිසියේ පැමිණිල්ලක් ද ලියවුණේ එදා දැරිය ඒ සිදුවීම රහසක් කර නොගත් නිසාය.

එම පැමිණිල්ලට අනුව පොලිසිය මහර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. එහිදී මහර අධිකරණය නියෝග කළේ පරිවාස අධීක්ෂණය යටතේ දැරිය මවට සහ පියාට භාර දෙන ලෙසටය. ඒ අනුව දිගින් දිගටම දැරිය පරිවාස අධීක්ෂණය ලැබිය යුතු වුවත් ඉන් වසර දෙකක් යද්දී පරිවාසය ඇස් වසා හෝ 2015 වසරේදී එක ගෙදර සිටි ඇගේ පියා කාටත් හොරා අවස්ථා ගණනාවක්ම ඒ වන විට දස හැවිරිදි වියේ පසු වූ දැරිය අපහරණය කර තිබුණේය. එය වසර හයක් පුරා රහසක්ව පැවැති අතර එය හෙළිවෙන්නේ පසුගිය ජුනි මාසයේය. ඒ කුඩා වියේ අවස්ථා ගණනාවක් අපහරණය වූ දැරිය ඇයට අවුරුදු පහළොවක් වත්දී වැඩිහිටියන් විසින්ම අන්තර්ජාලය හරහා විකිණූ සිදුවීම එළියට පැමිණීමත් සමගය.

පසුගිය දිනෙක ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලිප පෙරේරාට ඔත්තුවක් ලැබුණේය. ඒ ගල්කිස්සේ ස්ටේෂන් පාරේ නිවාසයක බාලවයස්කාර දැරියක් මුදලට විකිණෙන බවටයි. ඔහු ඒ ඔත්තුවට අනුව එහි යද්දී සැබවින්ම ඇයත්, රජීව් නමැත්තෙකුත් එහි සිට පොලිස් භාරයට ගැනුණේය. ඒ විකිණීමේ සුලමුල සොයා ගැනෙන්නේ ඔවුන්ව ප්‍රශ්න කිරීමෙන් සහ ඔවුන් සතු ජංගම දුරකථන පරීක්ෂාවෙන්ය. දැරිය ළඟ වූ දුරකථනයේ ඇයව අපහරණය කරමින් පාවිච්චි කළ විශාල පිරිසකගේ නාමාවලියක් විය. ඒ අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිසියෙන් දැරිය කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට භාර කෙරෙන අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑම ඔවුනට භාර විය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ භාරයට පත් බාලවයස්කාර දැරිය එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී පියාගෙන් සිදුවූ අපහරණය අනාවරණය කළාය. පියාගෙන් ඈ අපහරණයට ලක්වූ ආකාරය පිළිබඳව දැරිය පොලිසිය වෙත ප්‍රකාශයක්ද දී තිබුණි.

ඒ ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර ඇතුළු පිරිසක් අනුර සුදේශ් පනාපිටිය නම් වූ දැරියගේ පියා අවුරුදු 15යි මාස හයක් වූ දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවේය. අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ අතර සැකකරුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද පවරන ලදී.

මේ කාලයේ ඇය පෙම්වතියකි. ඇගේ පෙම්වතා 17 හැවිරිදි දෙල්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකි. ඔහුද ඒ අවදියේ දැරිය අපහරණය කළ බවට ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ළමා හා කාන්තා කාර්යාංශයට හෙළි විය. ඒ අනුව බාල වයස්කාර දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනාවෙන් දෙල්ගොඩ ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට එරෙහිව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තවත් නඩුවක් ගොනු කළේය.

දැරිය ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ භාරයට පත් වන අවස්ථාවේ ඇය රඳවා ගෙන සිටි ‘රජීව්’ නමැත්තා දැරියට ආගන්තුකයකු නොවන බව හෙළිවන්නේ ඔහු සම්බන්ධව සිදු කරන විමර්ශනයේදීය.

දැරියගේ මව වන චමිලා ප්‍රියංගනී ඇගේ සැමියා එසේ නැතිනම් දැරියගේ පියා අතහැර දමන්නේ මීට වසර දෙකකට පෙරයි. ඒ වනවිට 28 හැවිරිදි වියේ පසු වූ ඇය දැරිය සමග රජීව් නැවතී සිටි ගල්කිස්සේ මේ මහල් නිවාසයට යන්නේ ඒ කාලයේය. මේ මහල් නිවාසය දිනකට රුපියල් 5000ක කුලී පදනමකට ගෙන ඇත්තේ රජීව් විසිනි. ඒ ස්ථානයට පැමිණීමත් සමග රජීව් චමිලාව විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කරන්නට පටන් ගෙන ඇත. චමිලා ඒ ලෙස ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේ ‘‘ඉෂිනි’’ නමැති අන්වර්ථ නාමයකිනි.

එතෙකින් නොනැවතුණු රජීව් ඒ වන විට දහතුන් හැවිරිදි වියේ සිටි දැරියව දිගින් දිගටම අපහරණය කර ඇත. එයින් නොනැවතුණු ඔහු දැරියට අවුරුදු පහළොවක් වද්දී මේ වසරේ මුල් කාලයේ දැරියට ‘‘අමුතු පාඩම්’’ මාලාවක් උගන්වා තිබුණි. එසේ පුහුණුව ලබා දුන් දැරියද ඉන් පසු විවිධ පුද්ගලයන්ට මුදලට විකුණන්නට පටන් ගෙන ඇත. ඇගේ රුව සහිත දැන්වීම් වෙබ් අඩවිවල පළ කරන්නට ඔහු කටයුතු කර ඇත්තේ ඒ අනුවය. මීට මාස කීපයකට පෙර ඇය එසේ විකිණෙන්නේ ‘‘ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ්’’ අඩවියක් තවත් වෙබ් අඩවි කීපයකුත් හරහාය. දැරියගේ සුන්දර ඡායාරූප සමග එහි පළ කර තිබූ දැන්වීමේ වූයේ ලිංගික කටයුතු සඳහා පැයකට රුපියල් 15000යි. සම්පූර්ණ රාත්‍රියට නම් රුපියල් 40000යි ලෙසිනි. දැරියව විවිධ පුද්ගලයන් සන්තර්පණය කරන්නට දීමේදී ඈ හඳුන්වා දී ඇත්තේ ‘ඉෂිනිගේ නංගී’ වශයෙනි.

වෙබ් අඩවිවල පළවූ දැන්වීමේ සඳහන් කර තිබූ දුරකථන අංකයට සහ වට්ස්ඇප් අංකයට ඇමතුම් ගලා ගෙන එන්නට විය. ඒ ඇමතුම්වලට කතාකරන්නට රජීව් විසින් දැරියට දුරකථන සිම්කාඩ් පහක් පමණ ලබාදී තිබී ඇත.

චමිලාට ලැබුණු ඇතැම් දුරකථන ඇමතුම්වලටද උත්තර දී ඇත්තේ මේ බාල වයස්කාර දැරියයි. ‘‘ඉෂිනි ඉන්නවාද?’’ කියා අසමින් කතා කරන ගනුදෙනුකරුවන්ට ‘‘ඉෂිනි නම් අද නැහැ. එයාට අපොයිට්මන්ට් එකක් තිබෙනවා. ඉෂිනිගේ නංගි නම් අද ඉන්නවා’’ කියා ඇය උත්තර බැන්දාය. එවැනි මට්ටමකට රජීව් විසින් දැරියගේ මානසික තත්ත්වය හදා තිබූ නිසාය.

කෙසේ වුවද ඒඅයුරින් අන්තර්ජාලය ඔස්සේ විකිණී ගිය දැරියට දුරකථන ඇමතුම් දුන් පුද්ගලයන් වෙත දැරිය බොහෝ අවස්ථාවක් ප්‍රවාහනය කර ඇත්තේ ‘රජීව්’ගේ අනියම් බිරිඳ වන ශෂිප්‍රභා දිල්රුක්ෂිය.

ඒ අයුරින් මේ බාල වයස්කාර දැරිය කන්‍යාවියක බව හඟවා මුල්වරට අලෙවි කර ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ මහලු පුද්ගලයකුටය. ඒ රුපියල් ලක්ෂ තුනක මුදලකටයි.

මෙම දැරිය අන්තර්ජාලය මගින් මුදලට ලබාගත් සැකකරුවන් අතරින් වැඩිම වාර ගණනක් දැරිය ලබාගෙන ඇත්තේ භික්ෂුවක් විසිනි. කැලණිය ඊරියවැටිය ලුම්බිණි විහාරාධිපති කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි නමැති 50 හැවිරිදි වියේ පසුවන එම සැකකරු අන්තර්ජාලය ඔස්සේ දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කරන ලද වෙබ් අඩවියට රාත්‍රී කාලයේදී පිවිසී දැරියගේ ජංගම දුරකථනයට සිය ජංගම දුරකථනයේ වට්ස්ඇප් මගින් ඇමතුම් ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.



අදාළ 15 හැවිරිදි දැරියට එම චීවරධාරී සැකකරු රාත්‍රී 09න් පසු හදවත වැනි ආදර සලකුණු සහිත කෙටි පණිවුඩ යවමින් සහ ඇමතුම් ලබාගෙන තිබෙන බවත් ස්ථිර වශයෙන්ම රාත්‍රී කාලයේ අවස්ථා තුනකදී එම දැරිය සැකකරු රැඳී සිටින කුටිය වෙත රුපියල් 20000 බැගින් ගෙවා රැගෙන විත් තිබෙන බවත් ළමා හා කාන්තා කාර්යාංශය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත. නමුත් සැකකාර චීවරධාරියා අවස්ථා 10කට වඩා වැඩි ප්‍රමාණයක් දැරිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබාගෙන ඇති බවට පොලිසියට වාර්තා වී ඇත. දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී චීවරධාරියාගේ දුරකථන අංකය නම් වී තිබුණේ හාමුදුරුවෝ යනුවෙනි.

දැරියගේ ජංගම දුරකථන අංකය සැකකාර භික්ෂුව විසින් දානමාන ලබා දෙන අයගේ දුරකථන අංක ඇතුළු විස්තර සටහන් කරන දින පොතෙහි ආදර සලකුණක් සහිතව සටහන් කර තිබුණි. ඒ පිළිබඳව පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම දැරියගේ දුක සැප බැලීම සඳහා අදාළ දුරකථන අංකය සටහන් කර තිබූ බව පවසා ඇත. දැරිය සිය ලිංගික කටයුතු සඳහා ලබා ගැනීමේදී ගෙවන මුදල්වලට අමතරව සැකකාර චීවරධාරියා සන්තෝෂම් වශයෙන් දැරියට වෙනමම මුදලක්ද අතට ලබාදී ඇති බවත් අනාවරණය විය. එම කරුණු හේතුවෙන් දැරිය සැකකාර චීවරධාරියා හමුවීමට යාමට කැමැත්තක් දක්වා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඇතැම් පුද්ගලයන් යළි යළිත් දැරිය ලිංගික කටයුතු සඳහා ගැනීමේ අරමුණින් සිය පුද්ගලික ජංගම දුරකථන අංකයන් මෙම දැරිය වෙත ලබාදී තිබෙනවා. එම දුරකථන අංක බොහොමයක් අදාළ පුද්ගලයන්ගේ ශරීරයේ හැඩ රුව සහ ඇඳ පැලඳගෙන සිටි ආකාරය අනුව දැරිය විසින් සිය ජංගම දුරකථනයේ සේව් කරගෙන තිබෙනවා’’ යැයි විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

අන්තර්ජාලය මගින් 15 හැවිරිදි දැරිය සිය ලිංගික කටයුතු සඳහා මුදලට ලබා ගැනීමේ චෝදනාව මත වැලිසර නාවික හමුදා රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතුද සිල්වා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඉකුත් 06 වැනිදා පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේය.

41 හැවිරිදි තිදරු පියකු වන සැකකාර වෛද්‍යවරයා රුපියල් 20,000ක් ගෙවා දැරියව මිලදී ගෙන තිබුණි. කොල්ලුපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය අසලදී 15 හැවිරිදි දැරිය සිය මෝටර් රථයට නංවාගෙන ඇති සැකකාර වෛද්‍යවරයා දැරිය ගල්කිස්ස වෙරළබඩ පාරේ පිහිටි අමානා රිසෝට් හෝටලයට රැගෙන ගොස් තිබේ. දැරිය විසින් අදාළ හෝටලයේ කාමරය පවා මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා ඇත.

මෙම දැරිය පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ඇත්තේ ඇයට රූපලාවණ්‍ය ආලේපන කර 19 හැවිරිදි තැනැත්තියක් ලෙස හුවා දක්වමින්. එම නිසා මාගේ සේවාදායකයා නොමග ගොස් තිබෙනවා. දැරිය හෝටල් කාමරයට ගොස් ඇඳුම් ඉවත් කළ විට ඇය බාල වයස්කාර තැනැත්තියක් ලෙස පෙනී යාම නිසා සැකකරු දැරියව ප්‍රතික්ෂේප කර තිබෙනවා. යැයි සැකකාර වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.

සැකකාර වෛද්‍යවරයාව දැරියව යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඒ දරුවෙක් බව පෙනී ගොස් නැත. දැරිය රැගෙන ගිය අමානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කෝපි පානය කරන විට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුණේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන එම කාමරයට යනතුරු සැකකරුට තමන් සමග ඉන්නේ දරුවෙක් කියා පෙනුණේ නැහැ. නමුත් දැරිය කාමරය තුළදී ඇඳුම් ඉවත් කළ පසු තමයි ඔහුට දැනිලා තියෙන්නේ මේ ඉන්නේ ළමයෙක් කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස සහ ඔහු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම 100%ක් පැහැර හැර තිබෙනවා’’

ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත අධිකරණය හමුවේ කියා සිටියේය.

දැරිය සිය ලිංගික කටයුතු සඳහා මිලදී ගත් පිරිස අතර දේශපාලනඥයන් කිහිප දෙනකු සිටින බව ද වාර්තා වෙයි. ඒ අතරින් එක් සැකකරුවකු වන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත එදිරිසිංහ මේ වන විට සිටිනුයේ බන්ධනාගාරයේය.



මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයකු වූ මොහොමඩ් අස්මලී නමැති අය 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ වරදට පොලිසිය විසින් ඉකුත් 04 වැනිදා අත්අඩංගුවට ගත්තේය.

බලංගොඩ ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් මහරුෆ් මොහොමඩ් රිෆාන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු වන මද්දුමගේ ප්‍රභාත් නන්දන, දැරිය රජීව් නමැත්තාගෙන් ලබාගෙන සෘජුවම විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන දිසානායක මුදියන්සේලාගේ මාලිංග, පුද්ගලයන් රැසක් ලිංගික කටයුතු සඳහා දැරියව රැගෙන ගිය ගල්කිස්සේ මවුන්ට් එයා හෝටලයේ හිමිකරු දොන් චින්තක සුමුදු ඇල්විටිගල, එම හෝටලයේ කළමනාකරු නඩුවේ ප්‍රධාන සැකකරු රජීව්ගේ ප්‍රධාන ගෝලයකු බව කියන සහ දැරියව හෝටල් කාමරවල රඳවා තබා ගනිමින් අලෙවි කළ 23 හැවිරිදි ගිංතොට විදානලාගේ ජනිත් නලින්ද දැරියව විවිධ ස්ථානවලට ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඊට ආධාර අනුබල දුන් පිරිසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ දැරිය ගැන අන්තර්ජාලයේ දැන්වීම් පළ කරන ලද ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු ලෙස කටයුතු කළ පානදුර පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු වන බණ්ඩාරගම පදිංචි මාකේවෙලගෙදර ධනුෂ්ක කෞෂල්‍ය නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කර තිබේ.

දැරියගේ ඡායාරූප සහිත දැන්වීම් පළ කළ වෙබ් අඩවි සහ ඒවා සකස් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි වෙනමම පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න සඳහන් කළේය.

දැරිය අන්තර්ජාලය හරහා මිලදී ගත් ඊට ආධාර අනුබල දුන් බොහෝ දෙනකු දැනටමත් පොලිසිය හඳුනාගෙන තිබේ. එම පුද්ගලයන් දැරියව ලිංගික කටයුතු සඳහා රැගෙන ගිය ස්ථාන අපරාධ ස්ථාන ලෙස නම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. එසේ බලන විට ඊරියවැටිය ලුම්බිණි විහාරයත් දැන් අපරාධ ස්ථානයකි.

ඉෂාර රත්නකාර (සති අග අරුණ)