dilum-amunugama-speaks

පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියේය.ඒ අනුව එම සේවාවන් සඳහා පමණක් ලබන බදාදා (14) සිට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇත. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්, පනවා තිබු පළාත් අතර සංචරණ සීමාව පසුගිය 10 වනදා තවත් දින 14කින් දීර්ඝ කර තිබියදී මෙම තීරණය ගෙන ඇත.


රාජකාරී නොවන කටයුතු සඳහා මාර්ගෝපදේශ අනුව පළාත් අතර සංචරණය 24 තෙක් තහනම්ය.
එළඹෙන බදාදා (14) දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පිටත්ව යන පුද්ගලයින් වෙනුවෙන් පළාත් අතර සීමිත බස් රථ ගණනක් ධාවනයට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් විස්තර කළේය.

මහනුවර එන්නත්කරණ වැඩසටහනක ට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, දුම්රිය ධාවනය ද ඊට සමගාමිව සිදුකිරීමට නියමිත බවය.

“බදාදා සිට නැවතත් සීමා සහිත ධාවනය ආරම්භ කරනවා. උදාහරණයක ට වැඩට යන කෝච්චි ටික සහ හවසට ආපහු ඒ අය නිවෙස්වලට යන කෝච්චි ටික. ඒ වගේම පළාත් අතර රාජ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය පෞද්ගලික සේවකයින්ට කියපු නීති රීතිම අනුගමනය කරන්න ඕනේ. තමන්ගේ රාජකාරි හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට දුම්රියට ගොඩවෙන්න. පෞද්ගලික රාජකාරි නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අදාළ ලියකියවිලි ළඟ තිබිය යුතුයි. මේ අයට ගමන් කිරීමට බදාදා සිට අපි යම් දුම්රිය හා බස්රථ ප්‍රමාණයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.“