baddegama-incident

දෙවැනි බිරිඳ අසල්වැසි මිතුරා සමග පැන යාමෙන් පසු පළමු බිරිඳ යළි විවාහ කරගත යුතු යැයි ප්‍රකාශ කරමින් පොලිසියට පැමිණි පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාත් පොලිස් ස්ථානයකින් අසන්නට ලැබේ. පොලිස් පොතේ සටහන් වූ ආකාරයට කතාව මෙ​සේය.

අතරමැද වෙළෙන්දෙකු ලෙස මාළු වෙළෙඳාම රැකියාව කරගනිමින් යමක් කමක් ඇතිව ජීවත්වූ මෙම පුද්ගලයා වයස අවුරුදු 20 දී පමණ ඔහුට වඩා වසර දෙකකින් පමණ වැඩිමහලු තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන පසුව විවාහ දිවියට ඇතුළත් වී ඇත. එම විවාහයෙන් ගැහැනු දරුවෙකු ලැබීමෙන් පසු ඔහුට තවත් තරුණියකගේ ආදරය ලැබී ඇති අතර ඒ සම්බන්ධයද දුරදිග යෑම නිසා පළමු කසාදය කුරුටු ගා දෙවැනි පෙම්වතිය විවාහ කරගෙන ඇත.



දෙවැනි විවාහයෙන්ද ඔවුන්ට දරුවන් සිව්දෙනෙකු ලැබී ඇත. කලින් දික්කසාද කරන ලද බිරිඳ තම දරුවා ඥාතියෙකුට භාරදී වීදේශගත වී ඇත. මෙසේ කාලය ගෙවී යමින් තිබියදී ඔහුට අහම්බෙන් දවසක පැරණි බිරිඳ මහමගදී හමුවී ඇත. එහිදී ඇය පවසා ඇත්තේ තමා රටගිය බවත්, පසුව ලංකාවට පැමිණීමෙන් පසුව එම මුදල්ද මේ වනවිට අවසන්ව තමා දැඩි ආර්ථික පීඩනයකින් ජීවත්වෙන බවත් තමාට හා දරුවාට ඉන්න හිටින්න ගෙයක් දොරක් පවා නොමැති බවයි. එහිදී එම කතාවෙන් කම්පාවට පත්වන ඔහු ‘ඔයාලට නතර වෙන්න ගෙයක් අරගෙන දෙන්නම්’ යැයි පවසමින් ඇය සනසා පසුව නිවසක් කුලියට ගෙන මෙම කාන්තාවත් දරුවාත් එම නිවසේ නවතා ඉඩ ලද විට පැමිණ දුක සැපද විමසා බලා ඇත.

කලින් බිරිඳ වෙනත් නිවසක රඳවා ඇගේ දුක සැප බලන කතාව පසුව දෙවැනි බිරිඳටද සැලවී ඇය ඒ ගැන විමසීමේදී සත්‍ය සිද්ධිය ඇයට පවසා ඇත. ‘කොහොම වුණත් අහක බලන්න බැරිවුණා. ඒ මගේ ලෙයින් හැදුණ දරුවනේ. ඒකයි මම එහෙම දෙයක් කළේ’ යැයි කියා ඔහු එහිදි ඇයට පවසා ඇත. සිද්ධිය පිළිබඳ සානුකම්පිතව බැලූ බිරිඳ පවසා ඇත්තේ ‘එහෙනම් මොකටද තවත් ගෙවල්වලට කූලී ගෙවන්නේ, ඒ දෙන්නටත් මේ ගෙදරම පදිංචි වෙන්න පුළුවන්නේ’ යැයි පවසා ඇත.

ඒ අනුව බිරිඳගේද කැමැත්ත මත කලින් බිරිඳ හා දරුවාද තම නිවසට කැඳවාගෙන ඇවිත් පදිංචි කරවාගෙන වසර දෙකක් පමණ බොහොම සතුටින් කාලය ගතකර ඇත.



මෙම නිවස අසල අසල්වැසි නිවසේ පදිංවිකරු සමග නිතර නිතර පොඩි අඩියක් ගහන එක මොහුගේ විනෝදාංශය වී ඇත. මේ අතර හිටිහැටියේ අසල්වැසි මිතුරාගේ බිරිඳ ද වෙනත් පුද්ගලයෙකු සමග නිවසින් අතුරුදන් වී ඇත. බිරිඳත් නැතිව තනිවම වෙසෙන අසල්වැසි මිත්‍රයාගේ වුවමනා එපාකම්ද බලමින් ඔහුට බොහෝ වෙලාවලදී කෑමබීම ලබාදීමට මෙම නිවැසියෝ යුතුකමක් සේ සලකා කටයුතු කර ඇත.

දිනක් දෙදෙනා සුපුරුදු පරිදි මධුපානයේ යෙදෙන අවස්ථාවකදී අසල්වැසි මිතුරා ‘උඹට නම් ගෑනු දෙන්නනෙක්ම ඉන්නවා. මගේ හිටපු ගෑනිත් දාල ගියානේ’ යැයි පවසා ඇත. එවිට ඔහු බිරිඳ පෙන්වා ‘උඹ කැමති නම් මෙයාව එක්ක පලයන්’ යැයි විනෝදයට මෙන් පවසා ඇත. මේ සිදුවීමෙන් සති දෙකකට පසු ඔහු කියූ පරිදි දික්කසාද බිරිඳ නොව දරුවන් සිව්දෙනෙකුගේ මව වූ නීත්‍යානුකුල බිරිඳ රැගෙන සිය අසල්වැසි මිතුරා ගමෙන් පලාගොස් තිබුණි.

දැන් ඔහුගේත් දරුවන් පස්දෙනාගේත් දුක සැප බලමින් අඩුපාඩු සපුරා දෙමින් පැරණි බිරිඳ සැබෑ බිරිඳක් හා මවක් වී සිටින්නීය. තම බිරිඳ හා අසල්වැසි මිතුරා පිළිබඳ සොයා බැලීමේදී ඔවුන් දෙදෙනාම වෙනත් ප්‍රදේශයක සතුටින් පවුල් කන බව දැන ගැනීමට ලැබී ඇත. පසුගිය දිනක සිය දික්කසාද බිරිඳ සමග ප්‍රදේශයේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණ ඔහු තමාට මේ තැනැත්තිය සමග නැවත වීවාහ වීමට අවශ්‍ය බව පවසමින් එහි ස්ථානාධිපතිනිය සමග තම කතාව ප්‍රකාශ කර තිබේ.


මහේෂ් ද සිල්වා-බද්දේගම