harindra-jayalal-swarnavahini-step-down
ස්වර්ණවාහිනී නාලිකාවේ සේවයෙන් නිවේදක නදීක කරුණානායක ඉවත්වූ පුවත වාර්තාවී දිනකට පසුව එහි වැඩසටහන් වලින් හරින්ද්‍ර ජයලාල්වද ඉවත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව පොහොය දිනවල විකාශයවන‘අමා දහර‘ වැඩසටහන මින් මතුවට හරින්ද්‍ර ඉදිරිපත් නොකරන බවට වාර්තා පළවේ.


හරින්ද්‍ර ජයලාල් මේ කාලයේ ස්වර්ණවාහිනියට පූර්ණකාලීනව සම්බන්ධව සිටිනා අයෙකු නොවේ. ඔහු නිතිපතා සේවය කරමින් සිටියදී වසර කිහිපයකට පෙර තම ‘වොයිස් ඇකඩමි‘ ව්‍යාපාරික කටයුත්ත අරඹමින් ස්වර්ණවාහිනියේ අර්ධකාලීන රැකියාවකට සිය සේවය වෙනස් කරගෙන සිටි අතර ඒ අනුව ඔහු එම නාලිකාවේ නිශ්චිත වැඩසටහන් කිහිපයකට පමණක් බාහිරව සිට සම්බන්ධ විය.
පසුගිය කාලයේ ස්වර්ණවාහිනියට නව පාලකයින් පැමිණීම  නැවත යාම හා ඇතැම්  තනතුරු වෙනස්වීම ආදිය හමුවේ ඔහු එහි ඉදිරිපත් කළ වැඩසටහන්ද විවිධ වෙනස්කම් වලට ලක් වූ අතර ඔහු ඇතැම් දිනවල ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු හා ඇතැම් දිනවල රතු ඉර වැඩසටහන ඉදිරිපත් කරන්නෙකු ලෙසද දිස් විය.
මීට මාස ගණනකට පෙර ඔහු යූටියුබ් නාලිකාවක්ද පුද්ගලිකව ආරම්භ කළ අතර එය මීට සති කිහිපයකට පෙර සාමාජිකයින් ලක්ෂ 6 සීමාවද ඉක්මවා ගියේය. එම නාලිකාවේ අවසන් වරට ඔහු සිදු කළ සාකච්ඡා අතර එක් දවසකින් මිලියනයක් නැරඹූ සාකච්ඡාවක්ද විය. එය හිරු නාලිකාවේ සේවය කරන චමුදිත සමරවික්‍රම සමග කරන ලද්දකි. ඒ දිනවල ‘පියුමි-චමුදිත‘ සමාජ මාධ්‍ය රැල්ල සමග ඇතිවූ කලබගැනීය ගැන එහිදී සාකච්ඡා විය.


මේ අතර ස්වර්ණවාහිනියේ අභ්‍යන්තර ආරංචි වලින් පැවසෙන්නේ චමුදිතගේ සාකච්ඡාව සිදු කිරීමෙන් පසු පාලනාධිකාරිය හරින්ද්‍රට ගැටලු මතුකළ බවකි. ස්වර්ණවාහිනියේ අලුතින් ඇරඹූ ‘ඉර‘ නමැති දේශපාලන වැඩසටහනට ඇතැම් නවක නිවේදකයින් එක්කරගෙන තිබූ නමුත් ජ්‍යෙෂ්ඨත්වය අනුව කැපී පෙනුණ හරින්ද්‍ර එක් කරගෙන තිබුනේ නැති අතර ඊයේ වනවිට වාර්තාවූයේ ඔහුට ඉතිරිකර තිබූ එකම වැඩසටහන වූ පොහොය දිනවල විකාශය වන ‘අමා දහර‘ වැඩසටහනින්ද ඔහුව නෙරපා ඇති බවයි. ඒ අනුව ඔහු ස්වර්ණවාහිනියෙන් නැවත දකින්නට නොලැබෙනු ඇත.

පෙර පුවත
නදීක ස්වර්ණවාහිනියෙන් ඉවත්වේ