භාරත ලක්ෂ්මන් ඝාතන සංසිද්ධියට වරදකරුවී මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී තිබේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.


ඔහු සෘජුව මරාදැමීම නොකළත් රංචු වශයෙන් රොක්වී ඝාතනයක් සිදුවීම හා ඝාතනයට ඔහු සහ මරණකරු අතර වෛරය හේතුවී කණ්ඩායමේ අරමුණ සාක්ෂි තුළින් පැහැදිලිවී තිබීම යන සාධක මත ඔහුගේ දඩුවම අධිකරණයෙන් නියම විය.
මෙම තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා අභියාචනාධිතරණයට ගොස් නැවත තීන්දුව සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබූ නමුත් එය අධිකරණයේදී විභාගයට ගන්නා ලදුව පෙර තීන්දුව නිවැරදි බවට නැවත තහවුරුවී තිබුණි.

අනතුරුව මරණ දඩුවම ලබා ජීවිතාන්තය දක්වා සිරගතව සිටි  ඔහු රෝග තත්වයන් පෙන්වූ නිසා දිගටම සිටියේ බන්ධනාගාර රෝහලේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විධායක බලතල මත මිනීමැරුමක් සිදු කර තිබුණද ඔහුට නිදහස හිමිකරදී ඇති අතර ඔහු අද පොසොන් පොහොය දිනයේ නිදහස් කර හැරිය සිරකරුවන්ගේ නම් අතර සඳහන් කෙරිණි.
අද දින එල්ටීටීඊ සැකකරුවන්ව සිටි 16 දෙනෙකුද දුමින්ද සමග නිදහස් වීම විශේෂිතය.


‘දුමින්ද නිදහස් කරන්නේද නැද්ද යන්න‘ පසුගිය මැතිවරණ වේදිකාවල ජනප්‍රිය මාතෘකාවක්ද වී තිබුණි.
අද දින සමාව ලද දුමින්ද සිල්වා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් අනතුරුව නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇති බව බන්ධනාගාර ආරංචි වාර්තා කළේය.