train-service-effects-covid19

 "දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවක පිරිසට කොවිච් 19 රෝගය වැළඳීම නිසා ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දෙනික නඩත්තු කටයුතු කිරීම පිළිබඳව මේ වන විට ගැටලුකාරී තත්වයක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය  ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි. 


අඛණ්ඩව ධාවනය පවත්වාගෙන යාම සඳහාත් දුම්රිය මගීගේ, සේවකයන්ගේ, දුම්රිය මාර්ගයේ සහ ධාවන ඇණියේ සුරක්ෂිත භාවයට මේ වන විට ඒ ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30සහ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.  මේ හේතුව මත බොහෝ දුම්රිය ප්‍රමාදවීම් සහිතව ධාවනය කෙරෙන බවත් කසුන් චාමර ජයසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොවිඩ් -19 තත්ත්වය මැද මගීන්ගේ අඩුව හේතුවෙන් දුම්රිය 10 ක ගමන්වාර 20 ක් අවලංගු කර තිබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන අධිකාරී) ගාමිණී සෙනෙවිරත්න ඊයේ 06 වැනිදා පැවසීය.
කොළඹ කොටුව සිට ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හැර සියලුම තැපැල් දුම්රියන් මෙලෙස අවලංගු කර ඇතැයි ද හෙතෙම කීවේය.
කොළඹ කොටුව - බදුල්ල, කොළඹ කොටුව - ත්‍රිකුණාමලය, කොළඹ කොටුව - කන්කසන්තුරෙයි යන තැපැල් දුම්රියන් හි ගමන්වාර 06 ක්ද, කොළඹ කොටුව - මීරිගම මන්දගාමී දුම්රියන්හි ගමන්වාර 04 ක්ද, කොළඹ කොටුව - අඹේපුස්ස මන්දගාමී දුමරියන්හි ගමන්වාර 04 ක්ද, කොළඹ කොටුව - වේයන්ගොඩ ගමන්වාර 2 ක්ද, මරදාන - පානදුර මන්දගාමී දුම්රියේ ගමන්වාර 2 ක්ද, අලුත්ගම - ගාල්ල යන මන්දගාමී දුම්රියේ ගමන්වාර 2 ක්ද මෙලෙස අවලංගු කර ඇත.