karapitiya-covid-drug-oshadhi-shriyantha

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු බව කියන සම්පත් ගුණවර්ධන නමැත්තෙකු පසුගියදා කොරෝනා මර්දනය වෙනුවෙන් ඖෂධයක් වෙළෙඳපොළට නිකුත් කළේය. මිගා ප්‍රිමාල් ඉන්ටේක් යන නමින් හදුන්වා ඖෂධ මාත්‍රා කිහිපයක් ලබා සම්පූර්ණ කළ යුතු කරල් කිහිපයක් එම පැකැට්ටුවේ විය.
මෙම වෛද්‍යවරයා ඖෂධය අලෙවිකිරීම පිණිස ජනප්‍රිය පුද්ගලයින්ද ප්‍රචාරණයට හවුල් කර ගත්තේය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඖෂධය එලිදැක්වීමේ උළෙලට ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා ගෙන්වාගෙන ඒ ගැන කතාවක්ද කරගත්තේය. දේශපාලනයට සම්බන්ධවූ ටෙලි නිළි  ඕෂධී හේවාමද්දුමද ප්‍රචාරණයට ගාවාගත් අතර ඇ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මෙම ඖෂධය මගින් කොරෝනා රෝගය සුවකරගන්නට හැකි බව කියා තිබුණි.
මේ අතර ප්‍රකට යූටියුබ් සංවාද නාලිකාවක්වන ටෘත් විත් චමුදිත ‘Covid දණගැස්වූ විශ්මිත බෙහෙත කරාපිටිය රෝහලෙන්. අපි මැරෙන එක නතර කළා‘ යන මාතෘකාවෙන්
වීඩියෝවකටද පෙනී සිටිමින් කොරෝනා සුව කරන විස්මිත බෙහෙතක් ලෙස මේ ගැන ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළ කරගත්තේය. ඒසියලු තැන්වල මෙම නිෂ්පාදනය කරාපිටියේ වෛද්‍ය කණ්ඩායමක පර්යේෂණයක් ලෙස එළි දැක්විණි.
මෙම සියලු යහපත් ප්‍රචාරණයන් මැද රු 3750 ක් වූ මෙම බෙහෙත, බෙහෙත් සාප්පුවලඋණුකැවුම් මෙන් අලෙවි වී ඇති බව වාර්තා විය. දකුණු පලාතේ මෙහි පැකට්ටු 20000 කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති බවටද වාර්තා පළව තිබේ.


මේ ගැන ආන්දෝලනාත්මක කතා පළවන්නේ දැන්ය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය ගැන කිසිවක් නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ  ප‍්‍රියන්ත ජීවරත්න මහතා සඳහන් කර තිබේ. රෝහලේ වෛද්‍ය කණ්ඩායමක්ම පර්යේෂණයක් කර ඇති බවට විශාල ප්‍රචාරයක් දියත් වෙද්දී වැඩ බලන අධ්‍යක්ෂ එසේ  කියා ඇත.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද
මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් ඉක්මනින්ම සිදුකළ යුතු බවද ඔහු ඉල්ලා ඇත.

මේ අතර සම්පත් ගුණවර්ධනගේ කොරෝනා වෛරසය සදහා වන කරල සම්පුර්ණයෙන්ම බොරුවක් බව කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා ඇත.
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගැනීම මේ වන විට මෙරට කූට ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන බව පවසන විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම මහතා ඊට  ඇතැම් මාධ්‍ය පවා සහාය දැක්වීම විමතියට කරුණක් බව පවසයි.
යම් ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන පිළිගත්  ක්‍රමයක් පවතින  බව පවසන විජේවික්‍රම,  දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් බව කියයි. කරාපිටිය රෝහල් වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ කිසිඳු පිළිගත් සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා ඇත.

කොවිඩ් වසංගතය උත්සන්නවී රට තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබියදීත් විවිධ පුද්ගලයන් හා ආයතන මගින් කොරෝනා සුව කරන ඖෂධ බව පවසමින් විවිධ නිෂ්පාදන අලෙවි කිරීම් ජාවාරමක් ක්‍රියාත්මක වී තිබෙනවා. පසුගිය කාලයේදී ධම්මික පැණිය, රාවණා පැණිය ඇතුළු ඖෂධ ගනණාවක් කරළියට පැමිණි අතර ඒ සියල්ල යටපත් වෙද්දී කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයෙකු විසින් දේශීය ඖෂධ භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලද කරලක් පිළිබඳව කතාබහට ලක්වෙමින් තිබේ.

මෙම කරලද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින ජනතාව අන්දවන මහා ප්‍රෝඩාවක් බව වෛද්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දී තිබෙනවා.



සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසයි. ඒ අනුව මෙවැනි ව්‍යාජ කොරෝනා ඖෂධ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටී.

මේ අතර ප්‍රතිශක්තිය වර්ධනය කිරිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු විසින් නිපදවා ඇති බව කියන ඔසුව පිළිබද විමර්ශනයක් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසා තිබේ.
මෙකී ආහාර අතිරේකය තිබු ඇසුරුම් බෝතල් ගාල්ල නගරයේ පිහිටි වෙළදසැළක අලෙවි කිරිමට තිබියදි එහි සාම්පලයක්  විමර්ශන කටයුතු සදහා ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ලබා ගෙන ඇත.
මෙකී ආහාර අතිරේකය සම්බන්ධයෙන් ඇසුරුමේ සදහන් තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගැනිම සදහා විමර්ශන ආරම්භ කොට ඇති බවද ඔවුන් පවසයි.
මෙකී ආහාර අතිරේකය පිළිබද පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබි ඇති බවද මෙකි ඇසුරුමේ සදහන් පරිදි සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, හිසරදය සදහා අමතර ආහාරයක් ලෙස වරකට පෙති එක බැගින් දිනකට දෙවරක් දින 04ක් පානය කරන ලෙස සදහන්ව ඇති බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
එක් ඇසුරුම් බෝතලයක් රුපියල් 3750ක මිලකට අලෙවි කරන බව පවසන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය   ඇසුරුමේ සදහන් ආකාරයට ප්‍රමිති ආයතනය මගින් සහතිකය ලබාගෙන තිබේද යන්න පිළිබද විමර්ශනයක් සිදුකරන බවද පවසයි.
මේ අතර කලා ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පවසා ඇත්තේ තමා මෙම වෛද්‍යවරයා හඳුනාගත්තේ මෑතක බවත් ෂැංග්‍රිලා හොටලයේ උත්සවයකට තමාට ආරාධනා කළ විට එහි ගියේ තමා මේ දිනවල වෙද මහතෙකුගේ ටෙලි නාට්‍ය චරිතයකට අධයයනයක් සිදු කරමින් සිටින නිසා කරුණු සොයාගැනීමට රුකුලක් වනු ඇතැයි සිතා බවත්ය. කෙසේ වෙතත් අනපේක්ෂිත ලෙස එහිදී කතාවක් කරන්නට ලැබුණත් බෙහෙත ගැන කිසිවක් තමා දැන සිටියේ නැති බවද ඔහු කියා තිබේ. නමුත් තමාගේ කතාව බෙහෙත ප්‍රචාරය පිනිස යොදාගැනීම ගැන විමතිවූ බවද කියා තිබේ.
මේ අතර ටෙලි නිළි  ඕෂධී හේවාමද්දුම මෙම ඖෂධය සම්බන්ධයෙන් තවමත් ප්‍රචාරණය නිවැරදි බවට මතයක සිටින බවත් ඇගෙන් මෙය බොරුවක්දැයි මාධ්‍යයක් මගින් කළ විමසීමකදී ඔයාටත් කවදහරි ලෙඩේ සුව වෙන්න ගන්න වෙන්නෙ මේ බෙහෙත යයි දන්වා ඇති බවත් වාර්තා පළව තිබේ.

ඖෂධය ගැන ඖෂධි සිදු කළ ප්‍රචාරණ වීඩියෝව පහතින්