covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 


හංවැල්ල

හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ  පහත්ගම ප්‍රදේශය  64 හැවිරිදි තැනැත්තකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා ඊයේ (06) පැවසීය.
මීට දින කීපයකට ඉහතදී මෙම පුද්ගලයාට පැවති අතුරු ආබාධවලට ප්‍රතිකාර ලබා ගැනීමට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී රෝහල මගින් කළ අන්ටිජන් පරික්ෂණයෙන් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඉන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  
මේ වන විට මියගිය තැනැත්තාගේ බිරිඳ ඇතුළු  සිවුදෙනෙකුටද කෝවිඩ් වයිරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



මිනුවන්ගොඩ
 
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඊයේ (06) දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 44 දෙනකු  වාර්තා වු බව   මිනුවන්ගොඩ  වැඩබලන පාරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව මහතා පැවසීය. මෙසේ හඳුනාගත් රෝගීන්ගෙන් පිරිසක් ඇඟලුම් කාර්මාන්ත ශාලාවල ෙස්වක ෙස්විකාවන් වන  බවත් තවත් පිරිසක් මීට පෙර කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවද සංජීව මහතා පැවැසීය.
රෝගීන් රෝහල් ගතකිරිමේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරිමට මේ වන විට ආරම්භ කර ඇති බවද සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු වන සෞඛ්‍ය අංශ කම්කරුවකුට  කොරෝනා වයිරසය ආසාදිත බවට පී. සී.ආර්. පරික්ෂණ මගින් ඊයේ (06) දින තහවුරු වීමත් සමග ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩී.ආර්. සංජීව මහතා පැවැසිය.  සෞඛ්‍යය අංශ කම්කරුවා මහජන  සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් හා එක්ව මිනුවන්ගොඩ කොට්ඨාසය පුරා පී.සී. ආර්. පරික්ෂණ සිදුකරන ස්ථාන විෂබීජ හරණය කිරීමේ නිරත වූ අයකු බව ද සංජීව මහතා පැවැසීය.
ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සියලුම අංශවල නිලධාරින්  සේවක සේවිකාවගේ පී.සී.ආර්. පරික්ෂණ අද (07) දිනයේ සිදුකරන බවත් එහි වාර්තතා සැලකිල්ලට ගනිමින් ප්‍රාදේශීය සභාව විවෘත කරන්නේ ද පිළිබඳව සලකා බලන බව ද සංජීව මහතා පැවසීය.

නුවරඑළිය

පෙරේදා (5දා) සවස 6.00 වන විට නව කොවිඩ් ආසාදිතයන් 49 දෙනකු වාර්තා වීමත් සමග නුවරඑළි ය දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2129 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 5ක්, අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 2ක්, නුවරඑළිය සෞඛ්‍ය බල ප්‍රදේශයන් 3ක්, නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් 3ක්, රාගල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 4ක්, කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 1ක්, නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ බාහිර රෝගී අංශයෙන් 8ක්, බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 3ක්, හඟුරන්කෙත සෞඛ්‍ය බල ප්‍රදේශයන් 14ක්, නව තිස්පනේ සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 06ක් වශයෙන් ආසාදිතයන් හමුව ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්කර පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවැසීය. මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පහළොවකි.


බද්දේගම

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 19 දෙනකු පසුගිය දින කිහිපයේ වාර්තාවීම නිසා බද්දේගම, ඉදිගස්කැටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් ඊයේ (6 වැනිදා) සිට වසා දැමීමට කටයුතු කළ බව බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
දෛනිකව සේවක සේවිකාවන් 680ක් පමණ සේවයට වාර්තා කරන මෙම ඇඟලුම් කම්හලේ පසුගිය දිනවල කළ පී.සීආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී රෝගීන් 19 දෙනකු වාර්තා වී තිබුණි. රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී. නවරත්න පැවැසීය.
වාර්තා වූ එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන් සඳහා ද පී.සී.ආර්. පරීක්ෂා කිරීම හා නිරෝධායනයට යොමු කිරීමේ අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවද බද්දේගම මහජන සෞඛ්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.


පුස්සැල්ලාව
ගම්පොළ, පුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වැලඳී තිබේ. ඔහු ප්‍රතිකාර සඳහා පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.
ඊ​​යේ (6 දින) ස්ථානාධිපතිවරයාට කොරෝනා වැළදීමත් සමග පොලිසියේ අනෙක් නිලධාරීන් ඇතුළු 60 දෙනකු පොලිසිය තුළම නිරෝධායනයට ලක්කර තිබේ. ස්ථානාධිපතිවරයා සමග සිටි රියැදුරා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු නිවෙස්වලට යවා නිරෝධායනයට ලක්කළ බව ද පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. අනෙකුත් සියලුදෙනා හට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන බව ද ඔහු පැවැසීය.



බණ්ඩාරගම  

බණ්ඩාගම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරු සේවකයන් අට දෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය. මීට දින කිහිපයකට ඉහත දී එම සේවකයන් 23 දෙනෙකු අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂණයට භාජන කිරිමෙන් අනතුරුව පෙරේදා රාත්‍රි සේවකයන් 8 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බව සභාපතිවරයා කීය. මේ හේතුවෙන් ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීමට දින කිහිපයක සිට බාධාවක් පැවතිය ද අද 7 දින බණ්ඩාරගම නගරය සහ ප්‍රධාන මාර්ගවල පමණක් කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදු කිරීමට ද ඉදිරි දින කිහිපය තුළ දී අමතර කම්කරුවන් බඳවාගෙන කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සභාපතිවරයා කීය.

කොරෝනා චෛරසය ආසාදිත පුද්ගලයන් 07 කු පෙරේදා 5 වාර්තා වීමත් සමගම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. සිදුකළ පීසීආර් පරික්ෂණ 317 කින් වාර්තා වූ එම රෝගින් 97 දෙනා දිනක් තුළ දී හමු වූ වැඩිම රෝගීන් ප්‍රමාණය බව එම ප්‍රකාශකයා කීය.

පානදුර

පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියංග ද සිල්වා මහතා කොවිඩ් ආසාදනය වී ඊයේ (05) රෝහල් ගත කර ඇතැයි පානඳුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පානදුර පිංවත්ත මීගහ කෝවිල පාර පදිංචිකරුවෙකි.


කළුතර

 කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරීවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරියෙක්  ඊයේ (6) පැවැසීය.

යාපනය

යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ (6 වැනිදා) කොරෝනා රෝගීන් 30ක් ඇතුළත්ව උතුරු පළාතෙන් රෝගීන් 43 දෙනකු හඳුනාගෙන ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ. කේතීෂ්වරන් පැවැසීය.
යාපනය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ සහ යාපනය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරයේදී පෙරේදා (5 වැනිදා) පුද්ගලයන් 749 දෙනකුගේ පී.සී.ආර්. සාම්පල පරීක්ෂණයට ලක් කළ බවත් ඒ අනුව 43 දෙනකු නව ආසාදිතයන් ලෙස හඳුනාගත් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
එම රෝගීන් යාපනය දිස්ත්‍රික්කයේ 30ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ 9ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හතරක් ලෙස වාර්තා වී ඇත.

වාද්දුව

වාද්දුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කාර්යාලයීය බල ප්‍රදේශයට අයත් තෝරාගත් පිරිස් අතරීන් කරන ලද පී.සී.ආර්. පරික්ෂණ 246ක් අතුරින් 56 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට පත්වී ඇතැයිද ඉන් 27 දෙනකු පියවන්ත ග්‍රාමසේවා වසමෙන් හා 21 දෙනකු පිවන්ත බටහිර ග්‍රාම සේවා වසමෙන් බවට තහවුරු වී ඇතැයි වාද්දුව පරීපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ඩී. සනන්ත මහතා පැවැසීය. මෙහිදී මේ වනවිට පිංවත්ත හා පිංවත්ත බටහිර හා නාරම්පිටිය ග්‍රාමසේවා වසම් හුදෙකලා කර ඇත.
කෙසේ වෙතත් පසුගියදා (30) කරන ලද පී.සී. ආර්. පරික්ෂණ 246න් 119ක්ම, මෙම ග්‍රාමසේවා වසම් දෙක් වන අතරම ඉන් ආසාදිතයන් 56න්, 48ක්ම මෙම ග්‍රාම සේවා වසම් දෙක් විම ගැන දැඩි අවධානය යොමුකළ යුතු බවත් මේ වනවිට එම ප්‍රදේශවල ආසාදිතයන් රෝහල්ගත කිරිම, ඔවුගේ  ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම, ප්‍රදේශයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීම වාද්දුව හා නාරපිටිය පොලිසිවල නිලධාරිගේ සහයෝගය මත වාද්දුව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි කාර්යාලයේ වෛද්‍ය රන්ජන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පිංවත්ත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක රුක්ෂාන් ධනංජය මහතා ඇතුළු නිලධාරින් කටයුතු කරන බවත් වාද්දුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඒ.ඩී. සනන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.

රත්නපුර

තිස්සමහාරාමයේ සංචාරය කළ රත්නපුරේ රත්ගම ග්‍රාමසේවා වසමේ පදංචි එකම පවුලේ පස්දෙනාටම කොවිඩ් ආසදිතයන් ලෙස හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 30 දෙනකු සඳහා කළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් 14 දෙනකුම කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් රත්ගම ග්‍රාම සේවා වසම හුදෙකලා කිරීමට එම වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එම්.එස්.පී ජයසුන්දර ඇතුළු සෞඛ්‍ය අංශ මගින් පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එම්.එස්.පී ජයසුන්දර පවසා සිටියේ මෙම කොවිඩ් ආසාදිත පවුලේ පස්දෙනාම පසුගිය දිනක තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර එහිදී මොවුන්ට මෙම වයිරසය ආසාදනය වී ඇති බවට විශ්වාස කරන බවයි.
මෙම පවුලේ පස් දෙනාම කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් අයගෙන් 14 දෙනකුම මේ වන විට කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් ඔවුන් ඇඹිලිපිටිය හා කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකිරීමට පියවර ගත් බවයි.
කොවිඩ් ආසාදිතයන්ගේ සීග්‍ර වර්ධනයත් සමග මේ වන විට රත්නපුර නගර සභා සීමාවට අයත් ගගුල්විටිය හා රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් රත්ගම යන වසම් දෙක හුදෙකලා කර ඇත.


අගලවත්ත

අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය පසුගිය තිස් වැනි දින සිදු කල pcr පරීක්ෂණ 280 කි න් කොරෝනා ආසාදිතයින් හතළිස් අටක් පසුගිය පස්වනදා වාර්තා වූ බවත් ඒ අතර අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සම්බන්ධ ග්‍රාම නිලධාරීන් අට දෙනෙකු ඇතුළු දහතුන් දෙනෙකුත් අගලවත්ත නගරයේ පිහිටි රාජ්‍ය බැංකු දෙකක සේවිකාවන් දෙදෙනෙකුද සිටින බවත් අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දමින්ද සේනානායක මහතා පැවසීය .

අගලවත්ත නගරයේ පිහිටි රාජ්‍ය බැංකු දෙකක පිරිසිදු කිරීමේ සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග පසුගිය 25 වැනිදා සවස සිට එම බැංකු දෙක වැසීමට කටයුතු කළ බවත් එම බැංකු දෙකේම කාර්ය මණ්ඩල නිරෝධායන කිරීමට පියවර ගත් තවත් ඉදිරියේදී එම පිරිසගේ pcr  පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බවත් ඒසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කාර්යමණ්ඩලයේ ද pcr  පරීක්ෂණ සිදුකරන බවත් මේ වෙනකොට අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කොට්ඨාසයේ යටියන බටහිර වසමෙන් කොරෝනා ආසාදිතයින් පහලොස් දෙනෙක් සහ පිඹුර වසමෙන් ආසාදිතයින් 16 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් එම සියලු දෙනා අහඹු ලෙස සිදුකළ පරීක්ෂණවලින්  හඳුනාගත් නිසා එම ප්‍රදේශවල මීට වඩා අසාදිතයින් සිටිය හැකි බැවින් එම වසම් වල සංචරණ සීමා පැනවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීම් කර ඇති බවත් අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දමින්ද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අතර අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරීන් අට දෙනාට අමතරව කාර්යාලය පස් දෙනෙක් සහ සමෘර්ධි බැංකුවේ   තුන් දෙනෙකු ඇතුළු කොරෝනා ආසාදිතයින් ලෙස 16 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්  ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පිටතින් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මහජනතාවගේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කිරීමට තමා සෑම අවස්ථාවකම සූදානමින් සිටින බවත් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා හුළුගල්ල මහත්මිය පැවසුවාය.


දෙහිඕවිට

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙහිඕවිට සහ තල්දුව කොවිඩ් රෝගය වැළදී දෙදෙනකු මියගිය බව අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 6වැනිදා පැවසීය.මෙලෙස මිය ගියේ දෙහිඕවිට දිගල පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මියගිය අයගේ සිරුරු අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇත.  සියලුම සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් මියගිය අයගේ සිරුරු අවිස්සාවේල්ල පොදු සුසානභූමි ආදාහනාගාරය තුළදී ආදාහනය කිරීමට කටයුතු සලසා ඇතැයි අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහජන  සෞඛ්‍ය ප්‍රධාන නිලධාරී එන්.ආර්. වික්‍රමසිංහ මහතා පැවැසීය.




දොඩම්ගොඩ

දොඩම්ගොඩ මහජන බැංකු ශාඛාවේ කළමනාකරු කොරෝනා ආදිතයකු බවට තහවුරු වීමෙන් පසු ඊයේ (06) පෙරවරුවේ සිට සෞඛ්‍ය හේතූන් මත නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව එම බැංකු ශාඛාව වසා දැමූ බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක අසංග බලපිටිය මහතා පැවසීය.
එම බැංකු ශාඛාවේ ගනුදෙනුකරුවන්ට සිය ගනුදෙනු කටයුතු සඳහා මතුගම-කළුතර හා නාගොඩ ශාඛාවන් වෙත යන ලෙස එම බැංකු ශාඛා ගොඩනැගිල්ලේ අලවා ඇති දැන්වීමකින් බැංකු කළමනාකාරිත්වය ඉල්ලයි.


පොළොන්නරුව
පොළොන්නරු දිස්ත්‍රික්කයේ දැනට හුදෙකලා කර තිබෙන ග්‍රාම නිලධාරී වසම් දෙකක් වන හිඟුරක්ගොඩ 73 සිරිකෙත වසමෙන් නව ආසාදිතයන් 40ක් හඳුගෙන ඇති අතර එම වසමෙන් එක් මරණයක් ද වාර්තා වී තිබේ.


බණ්ඩාරවෙළ

බණ්ඩාරවෙළ රාජ්‍ය ආයතන තුනක නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා රෝගය වැලඳී ඇති බව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනාවරණය වීමත් සමග එම කාර්යාල 6හා7 යන දෙදින වසා තැබීමට කටයුතු කර ඇති බව එහි නිලධාරීන් පැවසීය.
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය සහ තේ මණ්ඩල කාර්යාලය මෙසේ දින දෙකක් වසා දැමීමට කටයුතු කර තිබේ.

මොරවක

මොරවක සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ට පසුගිය 04 දා කළ පී.සී.ආර් පරීක්ෂණ 109 ක ප්‍රතිඵල අනුව වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව අලපලාදෙණිය හාවාහේන ප්‍රදේශයෙන් ආසාදිතයින් හතරදෙනෙකු සහ මොරවක ප්‍රසිද්ධ බැංකුවක සේවයකයකු ආසාදිතයින් ලෙස මෙලෙස වාර්තා වී ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ පවුල් 26 ක ආශ්‍රිතයින් 73 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර ඇති අතර අලපලාදෙණිය ප්‍රදේශයේ ආප්ප වෙළෙඳසලක් ආශ්‍රිතව මතුවූ පොකුරකින් මෙම ආසාදිතයන් වාර්තාවන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආරංචි මාර්ග පවසයි.

බලන්ගොඩ

බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ තුළ ඉකුත් උත්සවය සම⁣යෙන් පසු ඊයේ (06 වැනිදා) දක්වා කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් පැවැසූහ.

බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසය තුළ කොවිඩ් රෝගින් 17 දෙනෙකු සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසය තුළින් කොවිඩ් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පවසයි.

බුත්තල

කොවිඩ් 19 වයිරසය ආසාදනය වී හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බුත්තල රහතන්ගම පදිංචි හැත්තෑතුන් හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (05) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
දැනට හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇති රහතන්ගම ප්‍රදේශයෙන් රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවී ඇති අතර මෙම රෝගියා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස් තිලකරත්න මහතා පැවසීය.

තිස්සමහරාම

කොරෝනා සෞඛ්‍ය නීතිරීති කඩකරන පුද්ගලයන් නීතිය රැහැනට හසුකර ගැනීමේ වැටලීමක් කෙරිණ. හම්බනතොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දිපිකා පටබැදිගේ සහ තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි ගේ උපදෙස් මත දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.කේ. සමන් හා තිස්සමහරාම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණිගේ මූලිකත්වයෙන් ඊයේ (6දා) තිස්සමහරාම නගරයේදී මෙම වැටලීම සිදුකරන ලදි. මෙම වැටලීමේදී සෞඛ්‍ය නීති කඩ කළ වෙළෙඳසල් හිමියන්ට එරෙහිව නඩු පැවැරීමට හා දැඩිලෙස අවවාද කිරීම් කළ අතර ඇතැම් කඩ හිමියන්ට සෞඛ්‍ය නීතිරීති යටතේ වෙළෙඳසල් පවත්වාගෙන යෑමට සෞඛ්‍ය උපදෙස් ලබා දුනි.


අලව්ව
සමෘද්ධි කළමණාකාරිණියක කොරෝනා ආසාදිතයකු බව හඳුනාගත් පසු අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සමෘද්ධි මූලස්ථානය ඇතුළු සමෘද්ධි අංශයේ 41 දෙනකු මේවන විට නිරෝධායනට ලක්කොට ඇත. මෙම නිරෝධායනයට සමෘද්ධි කළමනාකරුවන් පස්දෙනකුද ඇතුළත් වේ.


මොනරාගල

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (06දා) වන විට කොවිඩ් 19 රෝගීන් 23 දෙනෙකු හමුවූ බැව් මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක පැවසීය.
මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,188 දෙනෙකු හමුවී ඇත.
දැනට රෝගීන් සියයකට ආසන්න පිරිසක් නිවෙස් වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර අද (07දා) එම සියලුදෙනා වැල්ලවාය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ආරම්භකරන නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකරන බවද සඳහන් කළේය.
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 ආසාදිත රෝගී කාන්තාවක් ඊයේ (06) මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මොනරාගල දුටුගැමුණු මාවතේ පදිංචි හැට හැවිරිදි ඇය කලක සිට ඇදුම සහ දියවැඩියාව රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවකි.


පොල්පිතිගම

පොල්පිතිගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා වයිරසය පැතිර යාමේ යම් අවදානමක් දක්නට ලැබෙන බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනිල් රත්නායක පවසයි.
පසුගිය මස 28 වන දින සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් 168 දෙනෙකුගෙන් හත් දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත්, ඊට පෙර අවස්ථාවල දී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල දී ආසාදිතයන් 35දෙනකු හඳුනාගෙන තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ආසාදිතයන්ගෙන් වැඩිදෙනෙකු පන්සියගම පොලිස් බල ප්‍රදේශයට අයත් වන අතර මේ වන විටත් පවුල් 130 කට අයත් පුද්ගලයන් 268 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.


බියගම

බියගම පොලිස් බල ප්‍රදේශයේ 4 හා 5 යන දින දෙක තුළ තවත් කොරෝනා ආසාදිතයන් අට දෙනකු වාර්තා විණි. එම කොරෝනා ආසාදිතයින් අට දෙනා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ලදී.
ඒ අනුව මෙ වනවිට එම පොලිස් බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 29කී.


කන්තලේ

පවත්නා රෝනා තත්ත්වය මත රෝගය පාලනය කර ගැනීමේ අරමුණින් අද (07දා) දින සිට කන්තලේ නගරය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. මේ මස 15 දින දක්වා නගරය වසා දැමීමට තීරණය කළ බව කන්තලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි පැවැසීය.


කොත්මලේ

කොත්මලේ පනම්ගම්මන ග්‍රාම නිලධාරි (473) වසමේ කොවිඩ් 19 වයිරසය වැලඳුන ආසාදිතයන් 13 දෙනෙක් ඊයේ (06දා) වාර්තා වීමත් සමග එම ග්‍රාම නිලධාරී වසම පෙ.ව. 06.00 සිට හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කළ බව කොත්මලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක බන්දුල වික්‍රමසිංහ පැවසීය


අනුරාධපුර

කොවිඩ් 19 වයිරසයේ තෙවන රැල්ල හේතුවෙන් වයිරසය ආසාදනයවීමෙන් දින දෙකක කාලය තුළදී රෝගීන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුලියාපිටියේ පදිංචිකරුවෙකු පෙරේදා (5දා) රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊට අමතරව ගලෙන්බිදුණුවැව, රාජාංගණය, සිරිමාපුර හා තිරප්පනය ප්‍රදේශ පදිංචිකරුවන් තිදෙනකු ජීවිතක්ෂයට 4 හා 5 දිනයන්හිදී පත්වී තිබේ.


තංගල්ල

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති මංගල සාදයක මනාලයා කොවිඩ් ආසාදිත වීම
හේතුවෙන් මනාලිය සහ පවුල් හයකට අයත් 25 දෙනකු නිරෝධායනය කළ බව නාකුළුගමුව මහජන සෞඛ්‍ය
පරික්ෂක කේ.එස්.ටී. රංජන් මහතා පවසයි.

තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ හෝටලයක ඉකුත් මස 22 වැනිදා මෙම මංගල සාදය පවත්වා ඇති අතර
එහි මනාල තරුණයා පසුගියදා කොරෝනා ආසාදිත බවට හඳුනාගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලය කියයි. මොහු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කුඩා වැල්ල ප්‍රදේශයේම
පදිංචි මනාලිය සහ මංගල සාදයට සහභාගි වූ මනාල යුවළගේ ඥාතීන් ඇතුළු කුඩාවැල්ල ප්‍රදේශයේ
පවුල් 6ක 25 දෙනකු නිරෝධායනය කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.එස්.ටී. රංජන් මහතා
පැවැසීය. එම මංගල සාදයට සහභාගි වූ 150 පමණ පිරිස අහඹු පීසීආර් පරික්ෂණය සඳහා යොමු කර
ඇතැයිද හෙතෙම කීවේය.



පන්නල
පන්නල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය පෙරේදා (5) සිදු වූ කොවිඩ් ආසාදිත මරණ දෙකත් සමග ඉකූත් සතියේ 7 දෙනෙකූ මියගිය බව එම කාර්යාලය පවසයි.පන්නල පොලිස් වසමේ සමගි මාවත පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් ස්වසන ආබාධයක් හේතූවෙන් දඹදෙණිය රෝහලට ඇතූළත් කලද ඇය එදිනම මිය ගොස් ඇත. ඇනිටිජන් පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මහනුවර

යටිනුවර සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 11 දෙනකු 04 වැනිදා) නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ නොමැති නිසා නිවස්වල රැඳී සිටීමට උපදෙස් දී ඇති බවත් පිරිමි පුද්ගලයන්ට මහනුවර නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ නොමැති බව සෞඛ්‍ය බලධාරීහූ පවසති.