ravi-kumudesh-speaks

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඊයේ (18දා) දින උදෑසන නිකුත් කරනු
ලැබූ නිල වාර්තාවන්ට අනූව ශ්‍රී  ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96,439ක් ලෙස
දැක්වුණද රසායනාගාර සේවාවේ නිල දත්තයන්ට අනුව ශ්‍රී  ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව
1,03,640 ලෙස වාර්තා වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ
සභාපති රවී කුමුදේශ් පවසයි.



එම සංඛ්‍යා ලේඛනවලට අනුව ඉකුත් 03 වැනි දින වන විට ලංකාවේ කොවිඩ් ආසාදිත ප්‍රමාණය
ලක්ෂයේ සීමාව පසු කර ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

මාස අටක පමණ කාලයක් තිස්සේ එලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශ නිල දත්ත සහ රසායනාගාර සේවාවේ
නිල දත්ත අතර පරස්පරයක් පවතින නමුත් ඒ පිළිබඳ නිවැරැදි කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බවද
හෙතෙම පවසයි.

වසංගතය පැතිරී වසරකට අධික කාලයක් ගත වී තිබියදී පවා, වසංගතයට අදාළ දත්ත නියාමනය කිරීම
සඳහා නිශ්චිත තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කර ගැනීමට වසංගත රෝග අංශයට නොහැකිවීම
බරපතළ නොසලකා හැරීමක් බවද හෙතෙම අවධාරණය කරයි.

එසේම මෙම නිල දත්ත පරස්පරය මඟින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් වසංගතය පිළිබඳව සංඛ්‍යාත්මක දත්තයන් පිළිබඳව පටලැවිල්ලක සිටින බව යැයි හෙතෙම
අවධාරණය කරයි. එනිසාම ඒ මත පදනම්ව සිදු කරන ප්‍රකාශ විද්‍යාත්මක නොවන හුදු ප්‍රකාශ පමණක්
බවට පත් විය හැකි බැවින් ප්‍රකාශ නිකුත් කිරීමේදී සැලකිලිමත් විය යුතු බවද හෙතෙම පවසයි.

සවනි ශේෂාධි