පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත
පිළිබඳව සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන
නියෝජිතයන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු
මඬුල්ලක් හමුවේ අද දින (19දා) සිට සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු
ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම්
අද දින සලකා බැලීමට නියමිතය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.



වරාය නගරය කොමිසමක් මඟින් ස්ථාපිත කර බලය පැවැරීම තුළින් මෙම වරාය නගරයේ ව්‍යාපාර සඳහා
විශාල බදු සහන ලබාදීම, වෙනම පරිපාලනය ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිර ලෙස පිහිටුවීම,
අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම, වසර 40ක් දක්වා බදු විරාම පැවරීම, බදු රහිත
වැටුප් හා මූල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැලසීම යන කරුණු තුළින් ලංකාවේ භෞමික අඛණ්ඩතාවට හා
ස්වෛරීත්වයට හානි විය හැකි බව මෙම පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් පෙන්වා දී තිබිණි.

එමෙන්ම කොමිසමක් මඟින් බලය පැවැරීම තුළින් රටේ ජාතික ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද
තර්ජනයක් එල්ල වන බව සිය පෙත්සම් මඟින් පෙත්සම්කරුවන් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ
තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මෙන්ම ජනමත විචාරණයක් පවත්වා එමඟින් ද සම්මත කළ යුතු බවට
නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම්වලින් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ශ්‍රී  ලංකා නීතිඥ
සංගමය, ශ්‍රී  ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ජී. කමල් රේණුක පෙරේරා, සමගි ජන
බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ
පාක්‍යසෝති සරවනමුත්තු, ඇන්ටන් මාකස් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන
නියෝජිතයන් පිරිසක් විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කර තිබිණි.



හංසි නානායක්කාර