weli-oya-father-son-accident

සිංහල - හින්දු අලුත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් දැකීමට  මහරගම  සිට බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය එකම පවුලේ සිවු දෙනෙක්  විනෝදය සඳහා වේලි ඔයේ දිය නාන්නට යෑමේදී හදිසියේ ආ ව්ගවත් දිය පහරට හසුවීමෙන්
දෙදෙනෙකුගේ දිවි අහිමිවීමේ ශෝචනීය පුවතක් 15 වැනි දින වාර්තා විය. මෙම අනතුරින් මියගියේ
මහරගම, පමුණුව, දෙල්ගහවත්ත පාර පදිංචිව සිටි බැංකු කළමනාකාර වරයෙකු හා ඔහුගේ පුතුය.

හල්දුම්මුල්ල, කළුපහන පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 52
හැවිරිදි හේමන්ත කුමාර සුද්දසිංහල මහතා සහ 14 හැවිරිදි තුල්නිත් හේසර නමැති සිසුවා මෙලෙස මියගොස්  තිබුණි.
මළ සිරුරු දෙක දිය නාමින් සිටි ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි ගල් පරයක් තුළ සිර වී තිබියදී පොලිසිය හා ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබිණි.



මියගිය හේමන්ත කුමාර සුද්දසිංහලගේ මහතාගේ ඥාති සහෝදරියක වන චන්දිමා සුරවීර මහත්මිය පැවැසුවේ
 “බොරලැස්ගමුවේ citizen development  කියන පෞද්ගලික බැංකුවේ බැංකු කළමනාකරුවකු හැටියට තමයි අයියා වැඩ කළේ. අයියා 15 වැනිදා උදේ එයාගෙ නෝනයි, දරුවො දෙන්නයි එක්ක එයාගේ යාළුවකුගේ වාහනයකින්
අම්මවයි, අයියලාවයි, අක්කලයි බලන්න අයියාගේ උපන් ගම වන බණ්ඩාරවෙල, කිරිඔරුව, මාරබැද්ද කියන
ගමට ගියා.
හේමන්ත අයියා අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම ගමට යනවා නෑදෑයො බලන්න. 14 වැනිදා උදේ
ආහාර අනුභව නැකැතට පස්සේ ගමට යන්න ලෑස්ති වෙලා හිටියත් අයියගෙ යාළුවාට එන්න බැරි
ප්‍රශ්නයක් නිසා උදේ යන්න බැරි නිසා එදාම හවස යමු කියලා කට්ටියම කතා කරගෙන තිබුණා.
හවසත් එහෙම යන්න බැරිවුණ නිසා අයියා අක්කට කියලා තිබුණ 15දා උදේ අපි ගෙදර යමු කියලා.
එහෙම කතා කරගෙන 15 වැනිදා උදේ 7.30 පමණ අයියයි, අක්කයි, ළමයි දෙන්නයි ගමේ යන්න ලෑස්ති
වෙලා ඉන්නකොට ගෙදර හුරතලේට හදන බල්ලා කන්පට ගැහුවා. අක්කා ඒත් කිව්වා කිහිපවිටක්ම බාධා වූ
නිසා බල්ලා කන්පට ගහපු එකේ තව චුට්ටක් පරක්කු වෙලා යං කියලා.

අයියා කියලා තිබුණ ඔය මනස්ගාත විශ්වාස කරන්න එපා අපි ගෙදරින් දැන් පිටත් වෙමු කියලා.

ඊට පස්සේ අයියයි, අක්කයි, ළමයි දෙන්නයි අයියගෙ යාළුවා අරන් ආපු කාර් එකේ නැඟලා ගමේ යන්න
පිටත් වෙලා තිබුණා. එතකොට ගෙදර හදන කන්පට ගහපු බලු පැටියා වාහනයේ පස්සෙන් මහරගම  පමුණුව
පාරටම දුවගෙන ගිහිල්ලා තිබුණා. අයියා ඊට පස්සේ වාහනය නවත්තන්න කියලා බලු පැටියාව නැවතත්
කාර් එකේ දාගෙන ගෙදරට ගෙනැවිත් දාලා නැවත යන්න හදනකොට අයියාගේ කලිසමේ කකුලෙන් බලු
පැටිය ඇදලා තියෙනවා.

අයියා සත්තුන්ට ගොඩක් ආදරෙයි. අයියා බලු පැටියාගේ ඔළුව අතගාලා කියලා තියෙනවා අපි ඉක්මනට
එනවා උඹ ගෙදර බලාගෙන හිටපං කියලා.

බලු පැටියා කවදාවත් එසේ නොකරන නිසා අක්කට පොඩි සැකයකුත් ඇවිත් තිබුණා මේ ගමනට බාධාවක්ද
කියලත්. කොහොම හරි මේ කට්ටිය ඊට පස්සේ බලු පැටියා ගෙදර දාලා ගමන යන්න පිටත් වෙලා තිබුණා.
බළන්ගොඩ හරියෙදී අපේ නංගි කෙනෙක්ට කෝල් කරලා තිබුණා ගමේ යන ගමන් ඉන්නේ කියලා.

ගමන යන අතරතුර හල්දුම්මුල්ල, කළුපහන හරියේදි පුතා අහලා තියෙනවා තාත්තේ අපි වේලිඔයෙන් නාමුද
කියලා. මුලදී අයියා ඒකට කැමැත්තක් දක්වලා නැහැ. නමුත් පුතා දෙපාරක් තුන්පාරක්ම අහපු නිසා
අයියා කියලා තියෙනවා හා හා එහෙනම් අපි නාලා යමුයි කියලා. ඊට පස්සේ වාහනේ ඒ අසල ඉඩ
පහසුකම් තිබෙන ස්ථානයක නවත්තලා අයියයි, පුතයි, දුවයි වාහනේ පදවාගෙන ගිය අයියාගේ යාළුවයි
ඔයේ නාන්න ගිහිල්ලා තියෙනවා. එතකොට වෙලාව 2.00ට විතර ඇති කියලා තමයි අක්කා කිව්වේ. මේ
හතරදෙනා ඔයේ පහළ නාන්න ගියත් අක්කා ගිහිල්ලා නෑ. අක්කා වාහනේම තමයි ඉඳලා තියෙන්නේ. එයා
මේගොල්ලොන්ට කියලා තියෙනවා පරිස්සමෙන් නාන්න කියලා. ඔයේ ගොඩක් දෙනකුත් නනා ඉඳල තියෙනවා.
ඒ වෙලාවේ අයියයි, පුතයි පහළ වතුර තියෙන තැන තමයි නනා ඉඳලා තියෙන්නෙ. එතැන වතුර ඒ
වෙලාවේ අඩි දෙකක්වත් තිබිලා නැහැ. දුවත් එතැන ඉඳලා තියෙනවා. අයියගේ යාළුවා ඊට ටිකක් දුරින්
තමයි  ඉඳලා තියෙන්නෙ.

එකපාරටම විදුලි වේගයෙන් වගේ වතුර පාර වැඩි වෙලා අඩි පහක් හයක් විතර උඩට වතුර ආවා කියලා
තමයි අක්කා කියන්නේ.



ඒ වෙලාවේ ඔයේ බැහැලා හිටපු ගොඩක් දෙනෙක් වතුර පාරට අහුවෙලා ගහගෙන ගිහින් තියෙනවා.
අයියට හොඳට පීනන්න පුළුවන්. අයියා ගහගෙන යන දුවව අරන් ගලක් උඩින් තියලා පුතාව බලනකොට අයියා
දැකලා තියෙනවා පුතාව ගහගෙන යනවා.

එතකොට තමයි අයියා පුතාව ගන්න ගිහින් තියෙන්නෙ. ගහගෙන ගිය කට්ටිය ගල් පරවල හා වැල්වල එල්ලිලා
ගොඩ ආවත් අයියයි, පුතයි පේන්නේ නැතිව ගිහින් තිබුණලු. ඉණිමගක් ආකාරයෙන් සකස් කරගත් ලී දඬු කිහිපයක්
මඟින් දුවයි තවත් මනුස්සයෙක්වයි බේරගෙන තියෙනවා ගමේ කට්ටිය.

අනේ මන්දා මේ පවුලෙ කට්ටියට වෙච්ච දේ ගැන මට හරිම කනගාටුයි. මට හිතාගන්නවත් බෑ අයියයි,
පුතයි හරියට ගෙදර හිටියේ යාළුවෝ වගේ. ඇදුමක් ගත්තත් එකම පාට ඇදුම් තමයි ඒ දෙන්න ගන්නේ.

ගෙදර තාත්තා හිටියේ නැත්නම් අවශ්‍ය බඩු මහරගමට ගිහිල්ල අරන් එන්නෙත් ගොඩ වෙලාවට පුතාම තමයි.
පුතාගේ වයස අවුරුදු 14යි. පුතා ඉගෙනුමට ගොඩක් දක්ෂයි. එයා ඉගෙන ගත්තේ කොළඹ කේරි
විද්‍යාලයේ 09 වසර පන්තියේ. අක්කා රස්සාවකට ගියේ නැහැ. දුව ඉගෙන ගන්නෙ කොල්ලුපිටියේ ලින්සේ
බාලිකා විද්‍යාලයේ. එයාට වයස අවුරුදු 18යි.
තුෂාරි අක්කා බොහොම නිහඬ චරිතයක්. හේමන්ත අයියත් එහෙමයි. තුෂාරි අක්කාට කම්පනය නිසා තාම කතා කරගන්න අමාරුයි.
ඒ දෙන්න බොහොම සමඟියෙන්, සමාදානයෙන් දරුවො දෙන්නත් එක්ක පවුල් ජීවිතය ගත කළා. කාටවත්
කරදරයක් හිංසාවක් කරන්න හීනෙකින්වත් හිතපු අය නෙවෙයි. නැති  බැරි අයට ගොඩක් උදවු කළා.
අයියයි, පුතයි සංගීතයට බොහොම ප්‍රිය කළා. සමහරක් වෙලාවට ෆෝන් එකට ඉයර්ෆෝන් හයි කරගෙන
ඉයර් ෆෝන් එකේ කෑලි දෙක අයියගේ කනේ එකකුයි, පුතාගේ කනේ එකකුයි ගහගෙන තමයි ඉන්නේ.

මේ දෙන්න හරියට එක කුස උපන් සහෝදරයෝ වගේ ළඟින්ම හිටියේ. ඔය සිද්ධිය වෙලා අයියගෙයි,
පුතාගෙයි සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන තමයි ගල් පරය අස්සෙ හිර වෙලා ඉඳලා
තියෙන්නෙ. මට මීට වඩා දේවල් කියන්න හරිම අමාරුයි. දරාගන්න වාවන්න බෑ”


මළ සිරුරු දෙක 16 වැනි දින දහවල් සොයාගෙන තිබූ අතර හල්දුම්මුල්ල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව හදිසි අනතුරට ලක්වීමෙන් මියගිය හේමන්ත කුමාර මහතාගේ උපන් ගමෙහි පිහිටි බණ්ඩාරවෙල නිවෙසට මෘත දේහයන් දෙක ගෙන ගොස් තිබූ අතර 17 දින  සන්ධ්‍යාවේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව ගොඩිගමුව පොදු සුසාන භූමියේදී භූමදානය  සිදුකර තිබුනි.

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ