මේ දිනවල රටේ ව්‍යාප්තව ඇති නව කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍ය වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවැසීය.


නව වයිරසයට අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ද කොවිඩ් ආසාදනය වූ තරුණ පිරිසක් ප්‍රතිකාර ලබන බවත් ඔහු ප්‍රකාශ කළේය.තමා මෙවැනි අවදානමක් කල් තියා දුටු හෙයින් ඔක්සිජන් සැලකිය යුතු ප්‍රමාණයක් ගබඩා කළ හැකි ටැංකියක් කොරෝනා මුල් රැල්ල අවස්ථාවේදී රෝහලේ ස්ථාපනය කළ බව කී අත්තනායක මහතා එය මේ වනවිට බොහෝ ප්‍රයෝජනවත් වී ඇති බව ද පැවැසීය.

එම ඔක්සිජන් ටැංකි රෝහලේ අනෙකුත් අංශවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් එකසිය හතළිපස්දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් අටදෙනකු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවත් ඔහු පැවැසුවේය.


රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ සියයට 40ක පමණ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව එම රෝහල් ප්‍රධානීහු පවසති. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රෝගීන් බාර ගැනීම නවතා ඇති බවට පැතිර යන කතා අසත්‍ය බවත්, රෝගීන් බාර ගැනීම දිගටම කරන බවත් එම ප්‍රධානීහු සඳහන් කරති.රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් රෝහලේ ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
 (සුජීත් හේවාජුලිගේ)