health-advice

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම වයිරසය ආසාදනය වුවද රෝගී තත්වය උත්සන්නම හෝ සංකූලතා ඇතිවීම හෝ සිදුවන්නේ අවම මට්ටමකින්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසීය. ඇට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වයිරස වැළඳීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බව ද කොවිඩ් නව ප්‍රභේදයට ද ඔවුන් හොඳින් ඔරොත්තු දෙන බව ද එම වෛද්‍යවරයා කීය. කොරෝනා මර්දන එන්නත් සියල්ලම කොරෝනා ප්‍රභේදයන්ට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු පැවසීය.



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව එන්නත් ලබාගත් පුද්ගලයන්ට වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බව තහවුරු වී ඇතැයි ද ඔහු කීය.එම නිසා කොරෝනා මර්දනයට ඇති එකම මාර්ගය එන්නත් ලබාගැනීම බව ද සියලු දෙනාම එන්නත් ලබාගැනීම අතිශය වැදගත් බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. නව ප්‍රභේදය සුළඟින් බෝවන බවක් ප්‍රකාශ වන හෙයින් සෑම පුද්ගලයකුම මුඛ ආවරණ දෙකක්වත් පැළඳීම අවශ්‍ය බව ද ඔහු කීය.

විවෘත ස්ථානවලට වඩා ආවරණය වූ ප්‍රදේශවල එනම් නිවාස තුළ, කාර්යාල තුළ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම වැඩි බව ද වෛද්‍යවරයා පැවසීය.ගොඩනැගිලි හා කාර්යාල තුළ විනාඩි 30කට වඩා රැඳී නොසිටිය යුතු බව කී එම වෛද්‍යවරයා කාර්යාල හා ගොඩනැගිලි නිසි පරිදි සකස් කරගත යුතු බව ද පැවසීය. කාර්යාල හා ගොඩනැගිලිවල වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර වාතාශ්‍රය ලැබෙන අයුරින් සකස් කරගැනීම වැදගත් බව ද ඔහු කීය. මේ වනවිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මෙරට වැසියන් ලක්‍ෂ 9කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

 ( ජැමිලා හුසේන් - ඩේලි මිරර්)