astrasenaca-sri-lanka

අද සවස කොරෝනා මර්දනය සම්බන්ධ කාර්ය සාධක කණ්ඩායමේ විශේෂ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී ලලිත් වීරතුංග මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ඇස්ට්‍රාසෙනාකා එන්නත් පළමු මාත්‍රා 920000 ක් ලංකාවේ ජනතාවට ලබාදී ඇති නමුත් ඉතිරිව ඇත්තේ 356000 ක් බවත් දෙවැනි මාත්‍රා ලෙස ලබන මැයි 01 දා සිට ලබාදීය හැක්කේ එම සංඛ්‍යාව පමණක් බවත්ය. ඒ අනුව 564000 කට දෙවැනි මාත්‍රාව ලබාදීමේ ගැටලුවක් පැනනැගි බව දන්වා සිටියේය.


මෙම එන්නත් මිලියන එකහමාරක් ඉන්දියාවේ ද සීරම් ආයතනයෙන් ඇනවුම් කළද ඔවුන් දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යසනයට මැදිව සිටින නිසා ඒවා ලබාගැනීම ප්‍රමාදවී ඇති බවද කීය.
දැනට ඉතිරිව තිබෙන එන්නත් 356000 න් කොටසක් ලබන ජුනි මාසයේත් ඉතිරිය ජුලි මාසයේත් කල් ඉකුත්වන බවද කීය.
ඇස්ට්‍රාසෙනාකා පළමු මාත්‍රාවෙන් පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට නියමිත කාලය ඉදිරි මාස 3 ඇතුළත සම්පූර්ණ කිරීමට අවශ්‍යව ඇති බවත් ඒ කාලය තුළ කෙසේ හෝ ඉන්දියාවේ ද සීරම් ආයතනයෙන් හෝ වෙනත් රටකින් ගෙන්නා ගැනීමට උත්සාහ කරන බවද කීය.
මේ අතර දැනට චීනයේ සිනොෆාම් එන්නත ලක්ෂ 6 ක් ලැබී ඇති නමුත් ලංකාවේ ඊට අවසරය ලබාදී නැති නිසා චීන ජාතිකයින් 4000 කට පමණක් ලබාදී ඉතිරිව ඇති එන්නත් ලංකාවේ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දෙනතුරු ගබඩා කරගෙන සිටන බවත් එම තැන් දෙකින් එකකින් අනුමැතිය ලද වහාම ග්‍රාමීය ජනතාවට නිකුත් කරන්නට අපේක්ෂා කරන බවද කීය.
මේ අතර රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාදී ඇති පසුබිමක එම එන්නත් ගෙන්වා ගැනීමට මේ දිනවල කටයුතු කර තිබෙන බවත් ඒවාද ජනතාව වෙත ලබාදීමට හැකිවනු
 ඇතැයි අපේකෂා කරන බවද කීය.