
ෆාම් ඔයිල් නොමැති වීම නිසා මාගරින් නිෂ්පාදනය අඩාළ වී තිබෙන බවත්, මේ නිසා කේක්, බනිස් ඇතුළු නිෂ්පාදන කටයුතු මේ වනවිට 50%කට වැඩි ප්‍රමාණයකින් නවතා දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා බේකිරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බලපත්‍ර ක්‍රමයක් යටතේ ෆාම් ඔයිල් ගෙන්වීමට අවසර ලබාදෙන බවට පසුගිය 12වැනිදා ආණ්ඩුව ප්‍රකාශ කළත්, මෙතෙක් කිසිදු ව්‍යාපාරිකයෙකුට බලපත්‍ර ලබාදී නොමැති බවද එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. පසුගිය 05වැනිදා හදිසියේම ෆාම් ඔයිල් මෙරට තුළ තහනම් කළ බවත්, විකල්ප ලෙස පොල්තෙල් හඳුන්වා දෙන බවට සඳහන් කළත්, මෙම තහනමත් සමග රුපියල් හාරසිය පනහට අලෙවි වූ පොල්තෙල් කිලෝවක මිල රුපියල් හයසීය දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
වැඩි මිලට පොල්තෙල් මිලදී ගෙන පාන්, කේක් හා කෙටි ආහාර සකස් කර පවතින මිලට භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි බවත්, මේ නිසා බේකරි හිමියන් දෛනිකව තම නිෂ්පාදන කටයුතු අඩු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. ෆාම් ඔයිල් තහනම් කිරීමත් සමග මාගරීන් නිෂ්පාදනය අඩාළ වී තිබෙන බවත්, බේකරි කර්මාන්තයේදී මාගරින් ප්‍රධාන අමුද්‍රව්‍යයක් බවත් එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය. එසේම ෆාම් ඔයිල් ගෙවීමට බලපත්‍රයක් ලබාදීමට කටයුතු කළත්, ෆාම් ඔයිල් තොග මෙරටට ගෙන්වීමට සති දෙකකට වැඩි කාලයක් ගත වන බවත්, මේ නිසා ව්‍යාපාරිකයන්ට කඩිනමින් බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය. ආහාර සකස් කිරීමට තෙල් භාවිත කිරීම සැලකීමේදී 60%කට වැඩි ප්‍රමාණයක් ෆාම් ඔයිල් භාවිත කරන බවත්, ෆාම් ඔයිල් නොමැතිව බේකරි ඇතුළු බොහෝ කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
Comments
Post a Comment
Your comment will be visible after approval