sampath-hirantha-fernando-tution-murder

ෆේස් බුක් ඔස්සේ හිතමිත්‍රකමක් පෙන්නූ තරුණියක ඔස්සේ 25 වියැති ටියුෂන් ගුරුවරයෙකු රවටා පැහැරගෙන ඔහුව මරාදැමීම සම්බන්ධ සිද්ධියක් පසුගියදා සීදුවෙන් වාර්තා විය.  මේ වනවිට මෙම සිදුවීම පසුපස තිබෙන්නේ
 රුපියල් කෝටි 40 ක් පමණ වටිනා  මෙම ගුරුවරයාගේ බිරිය සතු ගොඩනැගිල්ලක අයිතිය සම්බන්ධ ගැටලුවක් බව අනාවරණය වී තිබේ.

එම ඝාතනය මෙහෙයවා ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියා යයි කියන දැනට බංකොලොත්ව සිටින කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර දේපළ නඩුවෙන් ටියුෂන් ගුරුවරයා හා බිරිය ජයගත් පසු ආර්ථික වශයෙන් අසරණ තත්වයකට පත්වූ ව්‍යාපාරිකයා එම පලිය ගන්නට හයදෙනෙකු සහය කරගෙන මෙම ඝාතනය මෙහෙයවා ඇති බව පැවසිණි. ඝාතනයට ලක්වූ ගුරුවරයාගේ බිරියගේ මවද මෙම නඩුව යන අතරවාරයේ  අභිරහස් ලෙස ඝාතනයවී තිබෙන නිසා එම ඝාතනය පසුපස සිටින්නේද මෙම කෝටිපතියා බවට සැකයක් මතුව තිබේ.
 තොරතුරු තාක්ෂණ ගුරුවරයකු වන සම්පත් හිරන්ත ප්‍රනාන්දු (25) පැහැරගෙන ගොස් වද දී මරා දැමීමේ සිද්ධියට සැකකරන  කෝටිපතියා සහ  හයදෙනෙකුගේ කල්ලියක් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති අතර දින හතක කාලයක් සීදුව පොලිසියේ රඳවා වැඩිදුර විමර්ශනය කිරීම මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දෙන ලදී.  මෙසේ පැහැර ගැනීමට ලක්ව වදබන්ධනවලට ලක්ව ඝාතනය වූ  සම්පත් මග්ගොඩ ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණික උපකාර පන්තියක් පවත්වාගෙන ගිය අයකු වූ අතර මාතර ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි.


ඝාතනයට ලක්වූ ගුරුවරයා සීදුවට කැඳවාගෙන පැමිණි රථයේ රියදුරුට ඇතිවූ කිසියම් සැකයක් මත එම සිද්ධිය පිළිබඳව සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.  මෙහි ප්‍රධාන සැකකරු වූ කෝටිපති  ව්‍යාපාරිකයා විසින් සැලසුම්සහගතව මිනීමැරුම මෙහෙයවා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 5 ක් ලබා දෙන බවට පොරොන්දු වී මුහුණු පොත හරහා සුරූපී තරුණියක් මගින් ගුරුවරයා සීදුවට ගෙන්වා ගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.


මේ සඳහා යොදාගෙන ඇති තරුණිය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ  සේවය කරනු ලබන සුරූපී ළාබාල තරුණියකි. මෙම තරුණියගේ චාටු කථාබස් නිසා ගුරුවරයා මෝටර් රථයකින් සීදූව, මුතුවාඩිය ප්‍රදේශයට ගොස් ඇත.  එහිදී ගුරුවරයා පැහැරගත් හත්දෙනාගේ කල්ලිය ඔහු වෙනත් මෝටර් රථයකින් කොටවෙහෙර ප්‍රදේශයට රැගෙන ගිය බවත් එම ගමන අතරමගදී ගුරුවරයාට වද දී ගෙල වයරයකින් සිරකර මරා දැමූ බවත් පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.  පසුව ගුරුවරයාගේ සිරුර  කොටවෙහෙර කැලෑවක දමාගොස් තිබියදී  දින 03 කට පසු පෙබරවාරි මස 11 දා හමු වී තිබේ.  ඝාතනය සිදුකර ඇත්තේ පෙබරවාරි මස 8 වැනි දිනය.




මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෝටිපති ව්‍යාපාරිකයා මරණයට පත් ගුරුවරයාගේ බිරිඳට අයත් කෝටි 40 ක් පමණ වටිනා මාතර  ගොඩනැගිල්ලේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගොස් ඇත. පසුව කෝටිපති ව්‍යාපාරිකයා ගොඩනැගිල්ල හිමි ගුරුවරයා සහ ඔහුගේ බිරිඳ සමග එහි අයිතිය පිළිබඳව වසර ගණනාවක් තිස්සේ අධිකරණයේ නඩු විභාගවූ  අතර එම නඩු තීන්දුවේදී ගුරුවරයාගේ පාර්ශ්වයට ගොඩනැගිල්ලේ අයිතිය හිමිව තිබිණ. මෙම නඩුව අස්කරගන්නා ලෙස දන්වමින් විවිධ තර්ජනය කිරීම්ද තිබී ඇති අතර තීන්දුව නිසා කෝටිපති වයාපාරිකයා මහමගට ඇදවැටී ඇත. මෙම නඩු විභාගය පවතිද්දී ගුරුවරයාගේ බිරිදගේ මව කපාකොටා අභිරහස් ලෙස ඝාතනය කොට ඇත.


මෙම ගුරුවරයාගේ ඝාතනයටත් ඔහුගේ නැන්දනියගේ ඝාතනයටත් සම්බන්ධයැයි ඇති සැකය මත පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.  මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් හත්දෙනා මාතර, වීරකැටිය, අකුරැස්ස, පානදුර, ජුලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ඝාතනය වූ ගුරුවරයාගේ සිරුර නිකවැරටිය අධිකරණයේ නියෝගය මත මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේ මිහිදන් කිරීමට කටයුතු කර ඇත. වැඩිදුර පුළුල් විමර්ශන පැවැත් වේ.

-ඩබ්ලිව්. කිර්ති-

සිද්ධිය සම්බන්ධ ගොසිප් ලංකා පෙර වාර්තාව මෙතැනින්