facebook-love- death

මුහුණුපොත ඔස්සේ තරුණියක හඳුනා ගැනීමට සලස්වා ඇය හමුවීම සඳහා පැමිණි තරුණ ව්‍යාපාරිකයකු
අතරමඟදී පැහැරගෙන ගොස් ලණුවකින් ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට සීදුව
පොලිසියට ඊයේ (14දා) හැකිවිය.

පැහැරගෙන ගොස් මරා දැමුණු මෙම ව්‍යාපාරිකයාගේ සිරුර කොටවෙහෙර ප්‍රදේශයේ කැලෑවක දමා
ගොස් තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.



මේ අතර මේ පිළිබඳ විමර්ශනය සිදුකළ සීදුව පොලිසියේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මරාදමන
ලද තරුණ ව්‍යාපාරිකයාගේ නැන්දණියද මෙලෙස කපා කොටා මරා දමා ඇති බවය. ඇය ඝාතනය වන්නේ
2018-01-12 වැනිදා බව සඳහන් කරන පොලිසිය එකී සිද්ධිය සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවකු අත්අඩංගුවට
ගෙන නැති අතර එම ඝාතනය මෙතෙක් අබිරහසක්ව පැවැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොත හරහා ව්‍යාපාරිකයා සමඟ ආදර සම්බන්ධයක් පවත්වා ඔහු රවටා
සැලසුම් කළ පරිදි සීදුව ප්‍රදේශයට ගෙන්වා ගත් විසි දෙහැවිරිදි තරුණියද මේ වන විට පොලිස්
අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනයේ සැලසුම්කරුවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය මෙම තරුණ ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුලමුල අනාවරණය කර ගන්නේ අධිවේගී මාර්ගයේ
තිබූ සී.සී.ටී.වී. කැමරා ඔස්සේ විමර්ශනයක් සිදුකරමිනි.

සිද්ධියට සම්බන්ධ වූ සැකකාර තරුණියට, ව්‍යාපාරිකයා හා ෆේස්බුක් හරහා මිතුරු වී සැලසුමට අනුව ඔහු
සීදුව ප්‍රදේශයට ගෙන ඒම සිදුකිරීම සඳහා රුපියල් 20,000ක මුදලක් සැලසුම්කරු විසින් ඇයට ලබා දී ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මග්ගොන, දියලගොඩ පදිංචි ශාමෙන් හිරන්ත නමැති අයෙකි.

පොලිසිය පවසන අන්දමට ශාමෙන් අදාළ ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණිය හමුවීමට සීදුවට පැමිණ ඇත්තේ
තවත් මිතුරකු සමඟ වෑන් රියකින්ය. අධිවේගී මාර්ගය ඔස්සේ සීදුවට පැමිණ තරුණිය මුණ ගැසී ඇය සමඟ
කතාබස් කරමින් සිටියදී එතැනට වාහනයකින් පැමිණි කණ්ඩායමක් තරුණිය හා ශාමෙන් ඔවුන් පැමිණි රථයට
බලහත්කාරයෙන් දමාගෙන තිබේ.

අතරමඟදී රුපියල් විසිදහසක් දී තරුණිය වාහනයෙන් මුදාහැරි අතර ඇය සමඟ සිටි ශාමෙන් වාහනය තුළදීම
ලණුවකින් ගෙල සිරකර මරා දමා ඇත. පසුව ඔහුගේ සිරුර රැගෙන ගොස් කොටවෙහෙර ප්‍රදේශයේ
කැලෑබද ප්‍රදේශයක දමා මොවුන් යළි සිය නිවෙස්වලට ගොස් තිබිණි.

ශාමෙන් සමඟ වෑන් රියේ සීදුවට පැමිණි මිතුරා මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සීදුව පොලිසියට කළ
පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය සී.සී.ටී.වී. කැමරා ඔස්සේ කළ විමර්ශනයකට අනුව
පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන්  මෙන්ම මෙම පැහැර ගැනීම සැලසුම් කළ මහ මොළකරුද අත්අඩංගුවට
ගැනීමට පොලිසියට හැකිවිය.



ඔහු වීරකැටිය මිද්දෙණිය පාරේ, පදිංචිකරුවකු වන අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ශාමෙන්
ඝාතනයේ සුල මුල හෙළි වී ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව ව්‍යාපාරිකයා හා සම්බන්ධ වූ තරුණිය
කොටුකර ගැනීමට පොලිසියට හැකිවිය.

ව්‍යාපාරික ආරවුලක් මත මහ මොළකරු බව කියන පුද්ගලයා ආර්ථික අතින් ඉමහත් අපහසුතාවට පත්ව ඇති
අතර ඒ පිළිබඳ වෛරයක් ඇති කරගත් ඔහු තරුණ ව්‍යාපාරිකයා මෙසේ මරා දමා ඇතැයි මූලික
පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ප්‍රධාන සැකකරු, සැකකාරිය ඇතුළු කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර වසර දෙකක්
තිස්සේ අබිහරසක්ව පැවැති මියගිය පුද්ගලයාගේ නැන්දණියගේ ඝාතනයටද මොවුන් සම්බන්ධදැයි  සොයා
බැලීමට විමර්ශන සිදුකෙරේ.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත
මීගමුව කොට්ඨාස භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත සීදුව  පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ඇතුළු උපපොලිස් පරීක්ෂක රණතුංග, කොස්තාපල්වරුන් වන  කුමාරදාස
(33256), මංජුල (60302), තිලකරත්න (79888), හේරත් (72566) හා විතාරණ (257323)
ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශන සිදුකරති.

කීර්ති මෙන්ඩිස්