බන්ධනාගාර ගතව සිටින දියණියට සහ බෑනාට ජාවාරම් කිරීම සඳහා බන්ධනාගාර තාප්පයට උඩින්
මත්ද්‍රව්‍ය විසිකළ 65 වියැති කාන්තාවක් සහ  තවත් පුද්ගලයකු මේ මස 12දා තෙක් රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එම්.පී. චම්පික රාජපක්ෂ මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ අංක 266, උඩබටගම, ජා-ඇළ පදිංචිකරුවන් බව කියන
මේරි ස්ටෙලා අල්විස් සහ සිවසාමි ජයකුමාර් නොහොත් කුමාර නමැත්තන්ය.


මොවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන චාජර් 14ක්, අතේ පලඳින ජංගම දුරකථනයක්, හෑන්ඩ්ෆී්‍ර 3ක්ද
අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත කඳාන පොලිසියේ සහ මීගමුව පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ
නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම සැකකාරියගේ දියණිය වන නිර්මලා ප්‍රියදර්ශිනි සහ බෑනා වන ජගත් කුමාර යන දෙදෙනා
මත්ද්‍රව්‍ය චෝදනා යටතේ මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇත. මෙම රැඳවියන් දෙදෙනා සමඟ එකතු වී
සැකකාරිය විසින් මීගමුව බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන උපාංග ඇතුළු තහනම්
භාණ්ඩ තාප්පයෙන් ඇතුළට විසි කිරීමේ ජාවාරමක් දිගු කලක් තිස්සේ කරගෙන ගොස් ඇත. එම භාණ්ඩ බෑනා
සහ දියණිය බන්ධනාගාරය තුළ ජාවාරම් කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

2020 සැප්තැම්බර් මස බන්ධනාගාරය තුළ තිබී සොයාගත් දුරකථන දෙකක අංක දෙකක් ඔස්සේ කළ දීර්ඝ
විමර්ශනයකින් පසු එම දුරකථන දෙක අලෙවි කර තිබූ ජා-ඇළ වෙළෙඳසලක CCTV දර්ශන පරීක්‍ෂා කර
දුරකථන දෙක මිලදී ගත් කාන්තාව සහ සහායකයා හඳුනා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව ඇත.


එම දෙදෙනා විසින් මිලදීගත් බිල්පතේ සඳහන් ලිපිනයට ගිය පොලිස් නිලධාරීන් සැකකරු සහ සැකකාරිය
අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දීර්ඝ කලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණය
වී ඇත.

මෙම ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ දූෂණ මර්දන ඒකකය
වැඩිදුර  පරීක්ෂණ සිදුකරයි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදස් අනුව මීගමුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර කුමාර වුල්ටර් මහතාගේ අධීක්ෂණයෙන් කළ විමර්ශන කටයුතු සඳහා
උප පොලිස් පරීක්ෂක රත්නායක, පොලිස් කොස්තාපල් ප්‍රනාන්දු (77769), කාන්තා පොලිස් කොස්තාපල්
බක්මීදෙණිය (10898), බිස්මිලා (15116) යන නිලධාරීන්ද සහභාගි වී ඇත.

කටාන - බර්ටි වීරසිංහ