තෙල්දෙණිය අධිකරණ බල ප්‍රදේශයේ විවිධ පළාත්වල වෙනත් අය සතු ඉඩම්වලට හොර ඔප්පු හදා මහා
පරිමාණයෙන් මුදල් උපයා ගන්නා ලද කල්ලියක නියැළී සිටි තෙල්දෙණිය නගරයේ නීතිවේදී කාර්යාලයක
සේවය කළ දින පනහක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රධාන සැකකාර නීතිඥ ලිපිකාරිනියට රුපියල් පනස්
දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දහයක පිළිගත් ශරීර ඇප අටක් සමඟ දැඩි ඇප කොන්දේසි මත
සැකකාරියට තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා ඇප නියම කළේය.

අනෙක් සැකකරුට රුපියල් පන්දහස බැගින් හා රුපියල් ලක්ෂ 5 බැගින් පිළිගත් ශරීර ඇප කොන්දේසි මත ඇප
නියම කළේය. මෙම මූල්‍ය වංචාව පිළිබඳව සැකකාරියන් දෙදෙනකු හා සැකකරුවන් තිදෙනකු ඇතුළු
සැකකරුවන් පස් දෙනකුට තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් බී වාර්තා අටක්
මඟින් චෝදනා ගොනු කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවත් සැකකරුවකු හා සැකකාරියක් මීට පෙර ඇප මත
මුදා හැර ඇත.


සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකුද තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා
විනිසුරු ශානක කලන්සූරිය මහතා වෙත පසුගිය මස 24 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පන්දහසක
මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් හා තවත් දැඩි ඇප
කොන්දේසි මත එම සැකකරුවන්ට ඇප නියම කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය නගරයේ නීතිඥ කාර්යාලයක සේවය කළ ලිපිකාරිනියක් ඇතුළු සැකකරුවෙක්
දින 50ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

මේ පිළිබඳව පුළුල් විමර්ශන පැවැත්වෙන බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් තෙල්දෙණිය පොලිසියේ
විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් රාජිත කුමාර සෙනෙවිරත්න මහතා අධිකරණයට කරුණු
ඉදිරිපත් කළේය.

මෙම ඉඩම් විකිණීමේ ජාවාරමෙන් මහනුවර දිස්ත්‍රික් ඉඩම් අංශයට රුපියල් ලක්ෂ 28ක මුදල් වංචාවක්

කිරීම පිළිබඳවද තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම ඉඩම් මිලදී ගැනීමෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ආර්.එම්. සමන් රත්නායක මහතා පෙනී
සිටිමින් දීර්ඝ ලෙස කරුණු දක්වමින් මෙම සැකකාරියට ඇප ලබාදීමෙන් තම පාර්ශ්වයට අගතියක් වන බව
අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ප්‍රධාන සැකකාරිය හා සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනකු පෙනී සිට දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

වෙනත් අය සතු ඉඩම් කට්ටි මෙම ජාවාරම් කල්ලියේ සාමාජික පිරිස කූට ලේඛන සකස් කර බාහිර
පුද්ගලයන්ට විකුණා මුදල් ගරා ඇති බවත් මෙම කල්ලිය බොහෝ කාලයක සිට මෙම ජාවාරමේ යෙදී සිටිමින්
නිවාස හා වාහන මිලදී ගෙන සුඛෝපභෝගී ජීවිත ගත කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මීළඟ නඩු විභාගය මාර්තු 17 වැනි දිනට කල් තැබිණි. තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන
අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  


තෙල්දෙණිය - කේ. නිශ්ශංක