වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ හොරට ගමන් කිරිමට පැමිණි මගීන් 40 දෙනෙක් කොටුව දුම්රිය ස්ථානයේ දී පෙරේදා (20) සවස දුම්රිය ආරක්ෂක අංශය මගින් අල්ලා ගනු ලැබූහ.   පෙරේදා (20) සවස 4.00 සිට 6.00 දක්වා පැය දෙකක කාලයක් තුළ කොටුව දුම්රිය ස්ථානයේ සිදුකළ හදිසි පරීක්ෂාවක දී අල්ලා ගනු ලැබූ මෙම මගීන් 40 දෙනාට දඩ  වශයෙන් රුපියල් 120800 ක මුදලක් නියම කළ බව දුම්රිය  ආරක්ෂක අංශය පවසයි. 
වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට පැමිණ අල්ලා ගනු ලැබූ මගීන් දෙදෙනකු නියම කළ දඩ මුදල ගෙවීම ප්‍රතික්ෂේප් කළ බැවින් ඔවුන් දෙදෙනා කොටුව  පොලිසියට බාර දී තිබේ.  දුම්රියේ හොරට ගමන් කරන මගීන් ගණන වැඩි වී දුම්රියේ ප්‍රවේශපත්‍ර ආදායම විශාල ලෙස අඩු වී තිබෙන බවට දුම්රිය  බලධාරීන් කළ දැනුම් දීම අනුව කොරෝනා වසංගත තත්වය හමුවේ පළමුවරට මෙම වැටලීම සිදුකළ බවත් ප්‍රවේශපත්‍ර පරික්ෂාව අඛණ්ඩව සිදුකරන බවත් දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.  


දුම්රිය ආරක්ෂක ඒකකයේ අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි සහ පරික්ෂක ශාන්තසිරි මහතාගේ අධික්ෂණය යටතේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි ප්‍රසංසා විජේසේකර, උපපරික්ෂක සුබාදි සිල්වා, සැරයන්වරුන් වන බී.කේ. සමන්කීර්ති, බණ්ඩාර, තිලකරත්න, ආරක්ෂක නිලධාරීන් වන කුමාරසිංහ, රාජිත, ලලිත් යන මහත්වරු ද කාන්තා ආරක්ෂක නිලධාරිනින් වන සුරංගි, තනුජා, මද්දුමආරච්චි හා නිලක්ෂි යන මහත්මීහු මෙම වැටලීම සිදුකළහ.  වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන් කිරීමට පැමිණීමේ දී අල්ලා ගනු ලැබූ මගීන් වැඩි පිරිස දුම්රියේ ගමන් කිරීමට පසුගිය වසරේ කල් ඉකුත් වූ වාර ප්‍රවේශපත්‍ර භාවිතා කරන බව පරීක්ෂණවලදී අනාවරණය විය.


-මහින්ද නිශ්ශංක-