ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ සොයා බලන වෛද්‍යවරියක අතර තරගාවලිය අතරතුර විනයවිරෝධී ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තාවේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගියදා එංගලන්තය හමුවේ නින්දාසහගත පරාජයක් අත්විඳි ගාල්ල ක්‍රිකට් තරගය අතරතුර වන අතර ඊට පෙරත් දකුණු අප්‍රිකානු සංචාරය අතරදීත් මෙම ක්‍රීඩකයා හා අදාළ වෛද්‍යවරිය අතර මෙවැනි සංසිද්ධියක් හා එයට තවත් ක්‍රීඩකයින් දෙන්නෙකු එක්වූ පුවතක් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි.
ගාල්ලේ සිද්ධිය වාර්තාවීමෙන් පසු ක්‍රිකට් ආයතනය මෙම තරගය කළමනාකරණය කළ අසන්ත ද මැල් මහතාගෙන් (මේවනවිට ඉල්ලා අස්වී ඇති) විශේෂ වාර්තාවක් කැඳවා ඇති බව ඊයේ දිනයේදී නිවේදනය කළේය.
විමර්ශනයෙන් අනතුරුව වරදකරුවන් වන පුද්ගලයන්ට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.
මෙම ක්‍රීඩකයාට එරෙහි අනියම් ඇසුරු චෝදනාව අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය තුළ රැව්පිලිරැව් දෙන මාතෘකාවක් බවට දැන් පත්ව ඇත.
පසුගිය 20 වනදා ‘ද මෝර්නින්‘ පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුනේ මෙසේය.

‘සඳුදා (18) අවසන් වූ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වඩාත් කතාබහට ලක්වූ සහ අනාගත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු අශෝභන ලිංගික අපචාරයකට සම්බන්ධ වී ඇති බව ගාල්ල ආරංචි මාර්ග ඊයේ (19) ද මෝනිං ස්පෝර්ට්ස් වෙත තහවුරු කළේය.

මෙම තරුණයා සිය ජිවිතයේ විසි ගණන්වල මුල් භාගය පසුකරමින් සිටින අයෙකි. ගාල්ලේදී ශ්‍රී ලංකා කන්ඩායමේ කාන්තා නිලධාරිනියක සමඟ ඔහු අසු වී ඇත. වර්තමානයේ කෝවිඩ් -19 සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිටිය යුතු සීමාව උල්ලංඝනය කර ඇත. ඉහත සඳහන් කළ කාලය තුළ ඔහුගේ හෝටල් කාමරයේදී හසුවිය.

මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි කොළඹ මූලස්ථානයට වාර්තා වී ඇති බව පෙනේ. ක්‍රීඩකයාගේ විෂමාචාරය අලුත් දෙයක් නොවේ. ඒ හා සමාන ආකාරයේ ලිංගික විෂමාචාරයන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතී. එම කාන්තා නිලධාරිනියම එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම සම්බන්ධ වී ඇත. නමුත් බලධාරීන් ඇස් පියාගෙන සිටිම ගැටලුවකි.‘

ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් නොහික්මුණු සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වමින් එම කරුණු ප්‍රතික්ෂේප කර තිබුනේ මෙසේය.
Shame on you for believing this rubbish!Do you honestly believe this can happen in a bio secure bubble......scandalous reporting!!

මෙම කුණු කසළ විශ්වාස කිරීම ගැන ඔබට ලැජ්ජයි! ජෛව ආරක්ෂිත බුබුලක මෙය සිදුවිය හැකි බව ඔබ අවංකවම විශ්වාස කරනවාද ...... අපකීර්තිමත් වාර්තාකරණයක් !!