සයිප්‍රස් සිට මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර සිටි කොවිඩ් ආසාදිත 45 දෙනාට වැළඳී 
ඇත්තේ නව කොරෝනා වයිරසය ද යන්න තහවුරු කර ගැනීම සඳහා පරික්ෂණ වාර්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදය හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවීගේ මහත්මිය වෙත යොමු කර ඇති බව හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  මෙම වයිරසය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත විශේෂඥ  වෛද්‍ය කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබූ බවත් එම වාර්තා මෙලෙස යොමුකර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.



මෙම පිරිසට වැළඳී ඇත්තේ නව කොරෝනා වයිරසය ද යන්න පරික්ෂණ අනුව හෙළි වනු ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම පිරිස හමුදා අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද හෙතෙම කීවේය. ඉකුත් සතියේ සයිප්‍රස් සිට ලාංකික ශ්‍රමිකයන් 50 ක පමණ පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පී සී ආර් පරික්ෂණයට ලක් කිරීමේදී මෙම 45 දෙනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇත.

-ඉන්දිකා රාමනායක-