පානදුර මූලික රෝහලට පසුගිය 29දා ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට වැරැදීමකින්
බල්ලන් බළලුන් සපා කෑ විට ලබාදෙන බෙහෙතක් එන්නත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
 
ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා දැරිය රැගෙන  ඇයගේ මව සහ ආච්චි  උදෑසන 6.00ට පමණ රෝහලට පැමිණ තිබේ.


එදින පෙරවරුවේ රෝහල් බාහිර ප්‍රතිකාර අංශයේ සුනඛයන් සහ පූසන් සපාකෑමට අදාළ එන්නත් කිරීමක් සිදුකර ඇති අතර එහි රැඳී සිටි අවුරුදු 5ක් වයසැති දැරියටද එම එන්නත ලබාදී ඇතැයි ප්‍රකාශකයා පැවැසීය.

මේ බැව් දැනගත් දැරියගේ මව එන්නත ලබාදුන් හෙදියගෙන් විමසා ඇති අතර හෙදිය පවුලේ ගැටලුවක්
පිළිබඳ කල්පනා කරමින් සිට ඇති බැවින් අත්වැරැදීමක් සිදුව ඇති බව පවසා ඇය මවට බැගෑපත්ව ඇතැයි පැවැසේ.

එන්නත ලබාදීමත් සමඟින් දැරියට නින්ද ගොස් ඇති අතර බියට පත් මව නිවෙසට දැනුම්දීමෙන් පසුව
දැරියගේ සීයා සහ නෑ හිතවතුන් පිරිසක් රෝහලට පැමිණ තිබේ. පසුව දැරියව රෝහලේ අංක 5 දරන
ළමා වාට්ටුවට රැගෙන ගොස් වෛද්‍යවරියක් හමුවට පමුණුවා තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් එක්වී පවුලේ අයට බැගෑපත් වී දැරියව රැගෙන නිවෙසට යන ලෙස උපදෙස් දී ඇති බවත් කිසිවක් කරකියා ගත නොහැකිව ඇති අසරණ පවුලේ උදවිය ත්‍රිරෝද රථයක නැඟී පිටව ගිය බවත් රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසුවේ ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බැවින් හෙට දිනයේ නිවැරැදි පිළිතුරක් ලබාදිය හැකි බවයි.

එන්නත ලබාදී ඇති පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි දැරිය ඊයේ දහවල් වන විටත් අඩ නින්දක පසුවූ
බව ප්‍රදේශවාසියෙක් පැවැසීය.  

පොතුපිටිය - සුමිත් රණවක
------- 

[Send your emails to editor - editor@gossiplankanews.com]