අමනුෂ්‍යයකු විසින් විපතකට පත් තරුණ කාන්තාවක් දූෂණයට ලක්කරමින් කළ අහස-පොළොව නුහුළන අපරාධයක කතාන්දරයයි. සෙව්වන්දි 23 හැවිරිදි කාන්තාවකි. වාද්දුවේ පෞද්ගලික ආයතනයක සේවය කළ ඇය 26 හැවිරිදි සමන් හා විවාහ වී සිටියාය. දෙදෙනාට දාව කුඩා දියණියක් සහ පුතෙක් ද වූහ. කළුතර නාගස්හන්දියේ හොරණ පාරේ මඳ දුරකින් වූ ජාවත්ත වත්තෙ වෙන්දේසි ඉඩම්හි ඔවුහු පදිංචිව සිටියහ.

දිනය පසුගිය 27 වැනිදායි. සෙව්වන්දි සුපුරුදු පරිදි වාද්දුවේ සේවා ස්ථානයේ සේවය කොට වාද්දුවේ සිට මගී බස් රථයකින් පැමිණ කළුතර - ගාලු පාරේ නාගස්හන්දියෙන් බැස හොරණ මාර්ගයේ පා ගමනින් නිවෙසට යමින් සිටියාය.


හරියටම වේලාව රාත්‍රී 7.45 ට පමණ විය. විදුලි වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි සෙව්වන්දිද හප්පාගෙන නොනවත්වා ධාවනය කෙරිණි.

එකී නොහික්මුණු රියැදුරාගේ නොහික්මුණු ක්‍රියාවෙන් රථයේ ගැටුණු සෙව්වන්දි මාර්ගයේ ඇද වැටුණාය. අවට පිරිස්ද ඇයගේ සහායට එක් වූහ. ඇයගේ පාදයකට තුවාල සිදු වූවාය. ඒ අතරේ මාර්ගයේ ගමන්ගත් වෙනත් ත්‍රිරෝද රථයක පැමිණි රියැදුරෙක් ඇයට සිදුවී තිබෙන අනතුර දැක නතර කෙරිණි.

"නංගි මොකද වුණේ... යමු... මගේ ත්‍රිවිල් එකට නඟින්න... මං ඔයාට බෙහෙත් අරන් දෙන්නම්..."

ඇය එකී පුද්ගලයා දුටුවේ දෙවියන් විසින් එවන ලද දේව දූතයකු හා විලසිනි. අවට රැස්ව සිටි පිරිස්ද ඇයට කීවේ ත්‍රිරෝද රථයෙන් ගොස් වෛද්‍යවරයකු ද හමුවට ගොස් නිවෙසට යන ලෙසයි.

ඇය නාඳුනන ත්‍රිරෝද රථ රියැදුරා සමඟ නැවතත් ගාලු පාර දෙසට ගියේ ඔහුගේ ත්‍රිරෝද රථයෙනි. ඒ, නාගස්හන්දියේ තිබෙන අනතුර සිදුවූ ස්ථානයේ සිට මඳ දුරකින් පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතටයි.

සෙව්වන්දිගේ එක් පාදයක් ත්‍රිරෝද රථයේ ගැටීම නිසාවෙන් තුවාල වී තිබුණාය. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා කීවේ,

"කකුල එක්ස්රේ කරලා බලන්න ඕනෙ... මෙහෙ බෑ... නාගොඩ රජයේ රෝහලට යන්න..."

වෛද්‍යවරයා එසේ කීමත් සමඟ සෙව්වන්දි කබලෙන් ළිපට වැටුණා හා සමාන තත්ත්වයකට පත්වූවාය. ඒ, නාගොඩ රෝහලට යන්නෙ කෙසේද යන්න වූ නිශ්චිත ක්‍රමයක් ඇයට නොවූ නිසාවෙනි. එහෙත් ත්‍රිරෝද රථයේ වූ තරුණයා විසින් සෙව්වන්දි නාගොඩ රෝහලටද රැගෙන යාමට නොපැකිළිව ඉදිරිපත් වූයේය.

ඔහු ඇයව නාගොඩ රෝහල් පරිශ්‍රයටම ත්‍රිරෝද රථයෙන් රැගෙන ගියාය. ඒ වන විට රාත්‍රී 8.30ට පමණ විය. සෙව්වන්දිගේ සැමියා සමන්ද ඇයට දිගින් දිගටම දුරකථන ඇමැතුම් දෙමින් විමසුවේ ඇය සිටින ස්ථානය පිළිබඳවයි.

සෙව්වන්දි ත්‍රිරෝද රථ රියැදුරාට පෙරැත්තය කළේ, "මට බෙහෙත් ගන්න ඕනෙ නෑ... මාව නැවතත් නාගස්හන්දියට එක්කගෙන යන්න... මගේ ළමයි දෙන්නා මං එනකල් ගෙදර බලාගෙන ඉන්නවා" යැයි කියමිනි.

ඒත් සමඟ ත්‍රිරෝද රථ රියැදුරා නාගොඩ රෝහලෙන් නික්ම යෑමට ත්‍රිරෝද රථය හැරවිණි. නාගොඩ රෝහලේ සිට නාගස්හන්දියට ඒමට නම් රෝහලෙන් වමට හරවා ගාලු පාරට පැමිණිය යුතුය. එහෙත් සිදු වූයේ වෙනකකි. ත්‍රිරෝද රථය වමට වෙනුවට දකුණට හැරවිණි. ගමන් කළේ පළාතොට මාර්ගයේයි. ඇය තුෂ්ණිම්භුත වූවාය. මඳ දුරක් ගිය විට හමුවන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය ඉදිරිපිටින් තිබෙන අරලිය උයන නමැති අතුරු මාර්ගයට හැරවූ ත්‍රිරෝද රථය එම මාර්ගයේද මඳ දුරක් ගමන් කළේය. කකුලේ දැඩි වේදනාවෙන්ද පීඩා විඳිමින් සිටි සෙව්වන්දි දිගින් දිගටම රියැදුරාගෙන් විමසුවේ, "මේ කොහේද මාව අරන් යන්නෙ" කියායි.

එම මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකට ගිය ත්‍රිරෝද රථය අසල සුසාන භූමියක නතර කෙරිණි. ඒත් සමඟම රියැදුරා කියන්නට වූයේ,

"අනේ නංගි අද රෑ ගෙදර යන්න ඕනෙ නෑ... මෙන්න මෙතන අපි දෙන්නා අද රෑ ඉමු..."


ඒ වන විට අවට මිනිස් පුලුටක් නොවීය. රාත්‍රී 9.10ට පමණ විය. පළාතම ගණ අන්ධකාරයෙන් ඇළලී තිබිණි. තරුණයා දිගින් දිගටම කාන්තාවගෙන් අසවල් දෙය මට දියව් කියමින් දැඩි ස්වරයෙන් කෑගසන්නට වීමත් සමඟ ඇය කිසිවකට එකඟ ‍නොවෙමින් ඔහු සමඟ ගැටුමකට මුල පිරීය.

ඒත් සමඟ ක්‍රියාත්මක වූ කාමාතුර ආශාවෙන් පෙළෙමින් සිටි පාපතරයා ත්‍රිරෝද රථයේ වූ මාළු කපන වර්ගයේ විශාල මන්නා පිහියක් ගෙන සෙව්වන්දිගේ ගෙළ ප්‍රදේශයට තැබුවේ, උඹ මෙතනම මරා දමනවා යැයි තර්ජනයක් ද කරමිනි.

එම ක්‍රියාවට මුව පොව්වකු සේ බිරාන්ත වූ සෙව්වන්දි, කාමාතුරයාගේ සිතැඟි ආශාවන්ට අවනත වූයේ තමන් පත්ව සිටි අසරණ භාවය නිසාවෙනි. සිත්පිත් නැත්තකු ‍විලසින් එකී අධමයා සිය ආශාවෙන් ඉටුකර ගැනීමෙන් පසු ඇයව සුසාන භූමිය තුළම තනිකොට ‍ඇයගේ අතෙහි වූ ජංගම දුරකථනය ද රැගෙන ත්‍රිරෝද රථයෙන් පලා ගියේය.

ඒ වන විටත් සෙව්වන්දිගේ සැමියා සමන් ඇයව සොයමින් සිටියේය. සුසාන භූමියේ සිටි සෙව්වන්දි දැඩි වේදනාවෙන් යුතුව කෙඳිරි ගාමින් අසල නිවෙසකට ගොස් තමාට වූ අකරතැබ්බය පවසා දුරකථන ඇමැතුමක් ගෙන තිබුණේ සැමියාගේ දුරකථනයටයි.

"අනේ බලන්නකෝ... මට වෙච්ච වින්නැහිය... මං දැන් අසවල් තැන ඉන්නෙ..." යැයි කියමින් ඇය විලාප දෙන්නට වූවාය.

අනතුරුව සැමියා පැමිණ ඇයව නිවෙසට රැගෙන යද්දි එදින මධ්‍යම රාත්‍රියට ළංවෙමින් තිබිණි. පසු දිනම එනම් පසුගිය 28 වැනිදා පෙරවරුවේම පොලිසියට දිව ගිය සෙව්වන්දිගේ සැමියා සමන් කීවේ, "අනේ සර් මගේ බිරිඳ මොකෙද්ද පාහරයෙක් අතින් දූෂණය වෙලා... මං දැන් ඇයව ඉස්පිරිතාලේ නතර කළා..."

ඔහුගේ අඳෝනාව පොලිස් පොතේ පැමිණිල්ලක් ලෙස සටහන් විණි.

‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කළුතර උතුර පොලිසියට පැමිණිල්ල ලැබුණු සැණින් එහි විමර්ශන කළුතර උතුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිතට බාර කෙරිණි.

ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ලක්ෂිත මෙකී අමානුෂික සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළත් හෝඩුවාවක් අනාවරණය කරගැනීමට ඒ වන විට කිසිදු සාක්ෂි සටහනක් අපරාධකාරයා නොතබා තිබිණි. සිදුවීමට අදාළ ප්‍රදේශයන්හි අවට සීසීටීවී කැමරා එකක් නෑර පරීක්ෂා කිරීමටද විමර්ශන නිලධාරිහු කටයුතු කළහ.

අනතුරුව පොලිස් නිලධාරින් සෙව්වන්දි මුලින්ම ප්‍රතිකාර සඳහා රැගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙහි සීසීටීවී කැමරා ඇතුළු සටහන් පොත් ගැනද පරීක්ෂාකර බැලීය. එහෙත් කිසිම හෝඩුවාවක් නොවීය. කෙසේ හෝ එම සටහන් පොතේ වූ සෙව්වන්දි ප්‍රතිකාරගත් පසු ප්‍රතිකාරගත් තැනැත්තාගේ නම සඳහන් වී තිබිණි. ඔහු හමුවූ නිලධාරීන් විමසුවේ,

"ඔයාට ඉස්සෙල්ලා ඇක්සිඩන්ට් වෙලා බෙහෙත් ගන්න ආපු කෙනා මතක ද?"

"ඔව් මතකයි සර්..."

"එයා නෙවෙයි... ත්‍රිවිල් ඩ්‍රැයිවර් මතක ද?"

"මෙහෙමයි සර්... එයාගේ රූපෙ නම් මතක නෑ... හැබැයි ඔහු හයර් දුවන්නෙ එකේ කණුවේ පාර්ක් එකේ බව නම් දන්නවා..."

එකී හෝඩුවාව පොලිසියට හොඳටම ප්‍රමාණවත් විණි.

ඒ අනුව පොලිසිය හඳුනා ගත්තෙ හොරණ පාරේ එකේ කණුවේ ත්‍රිරෝද රථ ගාලේ සිටින අසවල් රියැදුරා මෙකී අපරාධයට වගකිවයුතු බවටයි. රසික නමැති 26 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහුට එරෙහිව මීට පෙරද අපරාධ කීපයකටම වරෙන්තුද නිකුත් කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.

පොලිසිය සැකකරු කොටුකර ගැනීමට අවස්ථා තුනකදීම ඔහුගේ නිවෙසට ගියත් ඔහු පලා ගියේය. එහෙත් සැකකරු තමා කළ අපරාධයෙන් නීතියෙන් ගැලවීමට නොහැකි බව දත් හෙයින් අපරාධය සිදුකොට පැය කීපයක් ගතවීමත් සමඟින් නීතිඥයකු මාර්ගයෙන් කළුතර උතුර පොලිසියට පැමිණ පසුගිය 28 වැනිදා පස්වරුවේ බාර විණි.

විවාහකයකු ද වන සැකකරුට පුතෙක්ද සිටින අතර බිරියද ගැබිනියකි. සැකකරු පොලිසියට පාපෝච්චාරණය කර තිබුණේ, "මම එදා බීලා හිටියේ සර්... දූෂණය කරන්න හිතක් තිබුණේ නෑ... ඒත් බීලා හිටිය නිසා මොනවා වුණාද කියලා දන්නෙ නෑ..."

පොලිසියට බාර වූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ‍

මේ පිළිබඳව විමර්ශන කළුතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ අධීක්ෂණයෙන් කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත සමඟ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂිකා කේ. එල්. මහේෂිකා සහ 5078 සාජන් මනෝජ් විසින් සිදු කළහ.

අමිල මලවිසූරිය (සිළුමිණ)