සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය නොකිරීමේ චෝදනාව මත බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 කට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළක්විමේ ආඥාපනත යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.


රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලය, වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, කර්මාන්තශාලා ආදිය පවත්වාගෙන යාමේ දී රජය විසින් නිකුත් කරන සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා පොලිසිය ඉකුත් 11 වැනිදා දින සිට ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමේ දී මෙම ආයතන හඳුනාගෙන ඇති බවද සඳහන් කළේය. එම මෙහෙයුමේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ස්ථාන 2,823 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියා නොකරන ආයතන 473 ක් එහිදී හඳුනාගෙන ඇති බව ඔහු කීවේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, විදුලි, ජල බිල් හා දුරකතන බිල්පත් ගෙවීමේ ආයතන, කර්මාන්තශාලා, පෞද්ගලික අංශයේ කාර්යාල, වෙළෙඳසල් ඒ අතර වන බව හෙතෙම පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 15 වැනි දින නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අනුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන, වෙළඳසැල්, කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් ඒ සඳහා පොලිස් පරිසර කොට්ඨාසයේ පොලිස් නිලධාරින් 400 දෙනෙකු සහ සෞඛ්‍ය බලධාරින් යොදවා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.


- ඉන්දිකා රාමනායක -