මාස අටකට පසු චීනයෙන් 'කොවිඩ්-19’හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණයක් ඊයේ (14) වාර්තා විය. එම මරණයත් සමඟ චීනයෙන් ඊයේ (14) වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 4,635ක් ලෙස සටහන් විය. එම මරණය පිළිබඳ විස්තර ඊයේ (14) පස්වරු වනවිටත් නිකුත්ව නොතිබිණි. චීනයෙන් අවසන් වරට නව කොරෝනා වයිරස ආසාදිත මරණයක් වාර්තා වූයේ ඉකුත් වසරේ මැයි මාසයේදීය. නව කාරෝනා වයිරස එම මරණය වාර්තා වී ඇත්තේ එරට හීබෙයි පළාතෙනි.  නව කොරෝනා වයිරස වසංගතය පාලනය කළ රටක් ලෙස හැඳින්වෙන චීනයේ හීබෙයි පළාත තුළ මේ වනවිට නැවත වරක් වයිරසය පැතිරෙමින් තිබෙන අතර වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්' සීමා පනවා ඇත. මෙම ලොක්ඩවුන් සීමා හේතුවෙන් මිලියන 20කට වැඩි පිරිසක් එම ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිටිති.

ගෝලීය අර්බුද රැසක් ආරම්භ කළ නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පිරිසක් මේ වනවිට වූහාන් නුවරට පැමිණ සිටිති. නව කොරෝනා වයිරසය පිළිබඳ මුලින්ම වාර්තා වුයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. වසරකටත් වැඩි කාලයක් ගතව තිබුණ ද වයිරසය ආරම්භය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.


වයිරසය ආසාදනය වී ඇතැයි මතු වූ සැකයක් හේතුවෙන් චීනය බලා ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමේ දෙදෙනකු සිංගප්පූරුවේ නැවැතී ඇති අතර ඉතිරි පිරිස වූහාන් නුවරට ඊයේ ළඟා වූහ. මේ වනවිට ඔවුන්, ඔවුන්ගේ සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය ආරම්භය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ පැමිණිම චීනයේ රාජ්‍ය රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණි. වයිරසයේ ආරම්භය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම චීනයට පැමිණීම මුල් කරගනිමින් චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පසුගිය දිනවලදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මත ගැටුම් ඇති විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලෝක නායකයන් කිහිපදෙනකු ද වයිරසය සම්බන්ධයෙන් තොරතුරු සැඟවූ බවට චීනයට චෝදනා එල්ල කර ඇත. මේ තත්වය හේතුවෙන් වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් පූර්ණ සහ අපක්ෂපාතී පරික්ෂණයක් කරන්නැයි රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවධාරණය කර ඇත.

චීනය මේ වනවිට එරට වයිරස ආසාදිතයන් කාණ්ඩ දෙකක් යටතේ වාර්තා කරයි. එනම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වශයෙනි. ඒ අනුව වයිරස ආසාදිතයන් 138 දෙනකු වාර්තා වූ අතර ඊට අමතරව රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන වයිරස ආසාදිතයන් 78 දෙනකු වාර්තා වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ඊයේ (14) නිවේදනය කළේය.

ඉකුත් මාර්තු මාසයෙන් පසු චීනයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද එය වේ.

චීනයේ චන්ද්‍ර නව වර්ෂ නිවාඩු සමය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර එයත් සමඟ දෛනිකව වාර්තා චන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ. චීනයේ චන්ද්‍ර නව වර්ෂෂය පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර කෝටි පහකට ‘කෝවිඩ්-19' එන්නත ලබාදීමට චීන බලධාරීහු බලාපොරොත්තු වෙති.