‘කෝවිඩ්-19' තත්වය තුළ බස් රථ ධාවනය කිරීම සම්බන්ධයෙන් රජයට වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල බස් රථවලින් 70%ක් සහ අනෙකුත් දිස්ත්‍රික්කවල බස් රථවලින්  50%ක් පමණ  දෛනිකව ධාවනය කිරීමට නොහැකි වී තිබෙන බව බස් සංගම් සඳහන් කරයි.බස් රථවල ගමන් කරන මගී ජනතාව 'කෝවිඩ්-19’ වෛරසයෙන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන බලධාරීන්ට මෙතෙක් නොහැකි වී තිබෙන බවත්,
මේ හේතුවෙන් 'කෝවිඩ්-19'  දෙවැනි රැල්ල ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළදී බස් හිමියන්ට රුපියල්  කෝටි දෙසීයකට අධික ආදායමක් අහිමි වී තිබෙන බවත් ලංකා පෞද්ගලීක බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.


මගී ජනතාව 'කෝවිඩ්-19’ වෛරසයෙන් ආරක්ෂා වන වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් පෞද්ගලික වාහන තිබෙන පිරිස් බස් රථවල ගමන් කිරීමෙන් ඉවත් වී පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් යාමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.   නියාමන ආයතන වගකීම් පැහැර හැරීම නිසා බස් රථ හිමියන්ට අමතරව  මගී ජනතාවත් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය පවසා සිටියේය.   මගී ජනතාව ගැන සිතා යම් බස් හිමියන් ප්‍රමාණයක් බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවත්, අඩුම තරමින් එම ප්‍රමාණය මඟී අවශ්‍යතාවට ප්‍රමාණවත්ද යන්නවත් සොයා බැලීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවත් එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.


 -ඉන්දික හේවාවිතාරණ-