මාස පහමාරක ගැබිනියක්ව සිටි මා බලෙන්ම නිරෝධායනයට රැගෙන ගිය නිසා ලැබෙන්න සිටි දරුවා මට නැතිවුණා. මේ වගේ අපරාධයක් කාටවත් වෙන්න දෙන්න එපා යැයි කැලණිය පෙතියාගොඩ පදිංචී අනුෂා මධුෂානි නමැති 21 හැවිරිදි විවාහක තරුණිය හැඬු කඳුළින් යුතුව පවසා තිබේ. ඇගේ අවනඩුව ඇය මෙසේ කියන්නීය.
 “මගේ මහත්තයා කොරෝනා රෝගියකු කියල මාස පහමාරක ගැබිනියක් වූ මමත් මගේ පවුලේ අයත් ගෙදර නිරෝධායනය වෙන්න කිව්වා. නමුත් දින දෙකකට පස්සේ අපේ අකැමැත්තෙන්ම බන්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයකට අරන් ගිහිල්ලා අපි නෙගටිව් කියල සතියකට පස්සේ ගෙදර එව්වා. ඒ ඇවිත් සතියකට පස්සේ මට අමාරුවෙලා කොළඹ කාසල් රෝහලට ඇතුළත් වුණා. එහිදී මා පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් කිව්වා මගේ බබා නැතිවෙලා කියලා. මං විශ්වාස කරනවා ඒ ගමනෙදි ඇතිවෙච්ච කරදර අවහිරතා නිසා තමයි මේ දේ වුනේ කියලා දෙයියනේ උපදින්න සිටි දරුවා මට අහිමිවුණා" ෙ


“මගේ මහත්තයා පෑලියගොඩ මාළු මාකට් එකේ වැඩි කරන්නේ. ඒකේ වැඩ කරන 107 දෙනෙක් පී.සී.ආර්. කරලා 49 දෙනෙක් ආසාදිත කියලා තිබෙනවා. මගේ මහත්තයාත් ආසාදිත කියල 21 වෙනිදා අරන් යනවා කියල මහත්තයා මට කෝල්  කලා.  මම හිටියේ පෙතියාගොඩ අම්මගේ ගෙදර. 23 වෙනිදා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇවිත් අපේ ගෙදර නිරෝධායනය කළා. පස්සේ 24 වෙනිදා පොලිසියෙන් ඇවිල්ලා කිව්වා ගෙදර ඉන්නැතිව නිරෝධායනයට පිට යන්න ලෑස්ති වෙන්න කියල. අපේ ගෙදර මමයි, අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි හිටියේ.

මම කිව්වා මම මාස පහමාරක ගැබිනියක් කියලා. අම්මත් ඒ අයට කිව්වා ගෙදර නිරෝධායනය වෙන්නම් කියලා. පී.එච්.අයිලාට කීවා. ඒවා ඇසුවේ නැහැ. ඒ වෙනකොට අපිට ජී.සී.ආර්. කරලා තිබුණේ නැහැ. අපි කිව්වා පී.සී. ආර්. කරලා පොසිටිව් නම් අරන් යන්නේ කියලා.  හමුදාවේ අය ඇවිත් බස් එකක 24 වැනිදා රාත්‍රී අපි පස්දෙනා අරගෙන ගියා. බස් එකෙන්  වේයන්ගොඩට අරගෙන ගියේ. හමුදාවේ පිරිමි තිදෙනෙක් ආවේ. එතැනින් තව බස් එකකට අපි  නංවා ගත්තා. රෑ කෑමත් නැහැ. බස් එක පිටත්වුණා. බස් එකේ යද්දි මට වමනේ ගියා. අමාරු වුණා. අම්ම රියදුරුට මේ බව කිව්වහම නවත්වලා දුන්නා. ටිකක් ඇවිදින්න කියලා ආයිමත් බස් එකේ යනවිට නැවත දෙපාරක් අමාරු වුණා. පාන්දර 3.30 ට විතර බණ්ඩාරවෙල පැත්තේ රෝහලකට මාව අරගෙන ගියා.


මා එක්ක අම්මත් ගියා. රෝහලට ඇතුළත් කරපු ගමන් සේලයින් එකක් දුන්නා. වෙන මුකුත් දුන්නේ නැහැ. මම මගේ ක්ලිනික් කාඩ් අරගෙන ගිහිල්ලා තිබුණ නිසා ඒවා ආපු වෛද්‍යවරයාට පෙන්නුවා. ඒවා බැලුවේ නැහැ. අම්මා විස්තරය කිව්වා. ඊට පස්සේ ඇතුළට දාල දොර වැහුවා. වතුර කෑම දුන්නෙත් දොර යටින්. අම්මාට ඔලුවේ කැක්කුමයි කිව්වහම පෙති දුන්නෙත් දොර යටින්.  ඊට පසුදා (25) දවල් මගේ ටිකට් කැපුවා. මට ගහපු සේලයින් එක නැවැත්තුවෙත් අම්මයි. ටිකට් කපපු නිසා කෙනෙක් ඇවිත් සේලයින් කට්ට ගැලෙව්වා. අතෙන් ලේ ආවා. පුළුන් කෑල්ලක්වත් දුන්නේ නැහැ. ඊට පස්සේ ආපු හමුදාවේ කෙනෙක් ලේ එනවා දැකලා පුළුන් කෑල්ලක් දුන්නා.  දවල් එක හමාරට විතර මායි අම්මයි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගියා. 28 වෙනිදා අපිට ජී.සී.ආර් කළා. පසුදින ඒ රිපෝට් ආවා. අපි කාටවත් පොසිටිව් වෙලා තිබුණේ නැහැ.


ඒ නිසා 30 වෙනිදා අපි ගෙදර එව්වා. ගෙදර ඇවිත් නොවැම්බර් පස් වෙනිදා අපේ නිරෝධායනය  ඉවරවුණා.  ඊට පසුදින (6) රෑ මගේ මහත්තයා සුවවෙලා  ගෙදර ආවා. පසුදා (7) පොලිසියෙන් බලලා ගියා. 8 වෙනි දින මගේ ලේ ටිකක් යන්න ගත්තා. කොළඹ කාසල් රෝහලට ඇතුළත් වුණා.  ඉරිදා දිනයක් නිසා වෛද්‍යවරුන් ආවේ නැහැ. සඳුදා උදේ වෛද්‍යවරු ආවා. මම විස්තරය කිව්වා. ස්කෑන් එකක් කරන්න ඕනේ කිව්වා. උදේ ස්කෑන් කරලා බබාගේ හදවත ගැහෙනවා පෙන්නුම් කරන්නේ නැහැ කියලා හවසත් ස්කෑන් එකක් කරන්න කිව්වා. ඒක කරලා බබා නැතිවෙලා කිව්වා"


“ඊට  පසුදින මට බෙහෙතක් දුන්නා. බබා දියවෙලා  ආවා" කියා ඇය හඩන්නට වූවාය. ඉකිගසමින් ඇය පැවසුවේ “එයාල කිව්වේ සති  15කදී බබා නැතිවෙලා කියලයි. මම කියන්නේ එහෙම වෙන්න බැහැ. සති 15 කියන්නේ මාස 3 යි. මම ක්ලිනික් ගිහිල්ලා තිබුණේ. එහෙනම් මාස 2 න් විතර බබා නැතිවෙලා. මම මියගිය බබාත් එක්ක ඉදලා තිබෙන්නේ. එහෙම වෙන්න විදියක් නැහැ. මට වුණු දේ කාටත් වෙන්න දෙන්න එපා" යැයි ඉකිගසමින් ඇය  අඬන්නට වූවාය.

ඇයගේ සැමියා වූ චතුර සමීර මහතා මෙසේ පැවසීය.

 “මාළු මාකට් එකේ වැඩ කරන්නේ. එතැනදී කරපු පී.සී.ආර්.වලින් මමත් පොසිටිව් කියල 21 මාව මඩකලපුවට රැගෙන ගියා. මගෙන් ගෙදර විස්තර ඇසුවා. මම විවාහවෙලා බිරිඳ ගැබිනියක් කියලත් කිව්වා.   23 වෙනිදා බිරිය කෝල් කරලා කිව්වා අපිවත් අරන් යන්න හදනවා කියලා. මම කිව්වා යන්න එපා කියලා. ඊටපස්සේ කැලණිය මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්තයාට කතා කරලා කිව්වා. මහත්තයා කිව්වා එහෙම එක්ක යන්නේ නැහැ ඒගොල්ලෝ ගෙදර නිරෝධායනයට දාලා තිබෙන්නේ කියලා කිව්වා. ඒ විශ්වාසය මත මම බිරියට කිව්වා ඒගොල්ලෝ ගෙනියන්නේ නෑ කියලා. එහෙම කියලා තිබෙද්දීත් කොහොමහරි 24 ඒගොල්ලො පස්දෙනාම ගෙනයද්දී, මගේ බිරිඳට තුන්පාරක් අමාරුවෙලා. බස් එකේ යද්දි අමාරුවෙලා තිබෙනවා. ජී.සී.ආර්. කරලාවත් නොවෙයි මේ ගොල්ලො අරගෙන ගියේ. මගේ බිරිඳ ගැබිනියක් කියල තිබෙද්දිත් බස් එක් කොයිතරම් දුර ගෙනිහිල්ලා තිබෙනවාද. මේ හින්දා තමයි මගේ දරුවා නැතිවුණේ කියලයි අපට හිතෙන්නේ. මෙවැනි දේවල් තවත් නොවෙන්න  වගකිවයුත්තන්ගේ අවධානය යොමු වෙන්න ඕනෑ” යැයි චතුර මහතා වැඩිදුරටත් පැවසීය.

අනුෂාගේ මව මෙසේ පැවසුවාය. “මාස තුනෙන් බබා නැතිවුණා නම් දුවට මෙහෙම ඉන්න බැහැ. අපි බස් එකේ යද්දි දුවට ගොඩක් අමාරු වුණා. බස් එක තුන් පොළක නැවැත්තුවා. බස් රථයේ සිටි කෙනා බැන්නා මේ වගේ කෙනෙක් ගෙනාවේ ඇයි කියලා. අපි කිව්වේ නැද්ද කියලත් ඇසුවා. අපි කිව්වාට ගණන් ගත්තේ නැහැ කිව්වා. බස් එකේ රියදුරු බස් එක නවත්වල  දුවව ඇවිද්දවන්න කියනවා. ආයේ ටික දුරක්  යනකොට අමාරුවෙනවා. බැරිම තැන මගේ මහත්තය කෝල් කරලා බැන්නා. ඒ ගමන තමයි  රෝහලකට අරගෙන ගියේ. ඒ නිසා මම කියන්නේ එහෙම ගිය නිසයි දුවට මෙහෙම වුණේ” යැයි ඇය  වැඩිදුරටත් පැවසුවාය.

කැලණිය - ලාල් එස් කුමාර