සිංගප්පුරුවේ COVID-19 ආසාදනය වූ  ගර්භණී මවකට දාව මෙම මාසය ආරම්භයේදී උපත ලැබූ බිලිඳෙකු සතුව COVID-19  වෙරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට හඳුනාගැනීමත් සමග වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම මේ වනවිට පුදුමයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.  ඒ අනුව මේ වනවිටත් එම දරුවා සහ මව පිළිබඳව අධ්‍යයන සිදු කරමින් සිටින බවත්, සිංගප්පූරුවේ ගැබිනි මවුවරුන්
සහ ඔවුන්ගේ නොඉපදුනු දරුවන් සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණයේ යෙදෙමින් සිටින බවත් සිංගප්පූරු වෙදවරුන් සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙවැනි දරු උපතකදී වෛරස ආසාදනයක් හෝ ප්‍රතිදේහ මවගෙන් දරුවා වෙත හුවමාරු විය හැකිද යන්න සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කෙරෙමින් තිබේ. එසේම මෙම අවස්ථාවේදී COVID-19 වෛරසයට එරෙහිව යම් බලපෑ සහගත ආවරණයක් සැලසෙන්නේද යන්න පිළිබඳවද විමසා බැලෙන බව සඳහන් වෙයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට අනුව ඇතැම් ගර්භණී කාන්තාවන් තුළ මෙම COVID-19 වෙරසය ආසාදනය වීමේ අවස්ථාවක් පවතින අතර, එය දරුණු තත්වයට පත්වීමේ හැකියාවක් පවතී.


එහෙත් COVID-19  ආසාදිත ගැබිනි කාන්තාවකගෙන් එම අවස්ථාවේදී ඇගේ කුස තුළ තිබෙන කළලයට හෝ ප්‍රසූතියේදී එම බිලිඳාට හෝ වෛරසය හුවමාරු වන බව මෙතෙක් හඳුනාගෙන නැතැයිද එම සංවිධානය පවසයි.  මෙම කාන්තාව ගැබිනියකව සිටින අවස්ථාවේදී පසුගිය මාර්තු මාසයේදී COVID-19 වැලඳී තිබේ. ඇය දරුවා බිහිකර ඇත්තේ නොවැම්බර් මාසය මුලදීය.