ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙන බවත්, ඒ අනුව අවුරුදු 55න් හෝ අවුරුදු 60න් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්වාධීනව තීරණය කිරිමට අවස්ථාව ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 2021 අය වැය දෙවැනි වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට ඊයේ (19දා) ඒක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. කෙසේ වෙතත් ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. පිළිබඳ පසුගිය රාජපක්‍ෂ රජය කාලයේදී එය කළමනාකරණය කළ ආකාරය සහ එයින් පෞද්ගලිකව ලාබ ලබපු ආකාරය අනුව මේ සඳහා පොදුවේ විරුද්ධ වන බවද සඳහන් කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා,



"විශ්‍රාම වයස පොදුවේ අවුරුදු 60ක්  දක්වා ඉදිරියට ගෙනවිත් තිබෙනවා. මගේ පෞද්ගලික අදහස අනුව මේ යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. මොකද අවුරුදු 55ක් වෙනකොට විශ්‍රාම යන්නේ දැනුම හා අත්දැකීම පිරුණු අයෙක්. ඔහුට හැකියාව තිබෙනවා නම්, තවදුරටත් ඒ  සේවය ලබා ගන්න අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕන. ඔහු සෞඛ්‍යමත් නම් රාජකාරි ඉටු කරනවා නම්, ඔහුව බලෙන් විශ්‍රාම යැවීම අපරාදයක්. නමුත් මට විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි දැනට අවුරුදු 55න් තීරණය කර සිටින අය සම්බන්ධවයි.


මම යෝජනා කරන්නේ මේ නීති වෙනස් කරන කොට ඔවුන්ට ස්වාධීන තීරණයක් ගන්න ඉඩ දෙන්න. දැනට වැඩ කරන අයට 55න් යනවාද නැතිනම් 60න් යනවාද කියලා. ඒ නිසා ඔවුන්ට ඒ නිදහස දීම වැදගත්. එසේ ඔවුන්ට මේ නීති තුළින් සහනයක් ලබාදුන් විට ඊ.පී.එෆ්. සහ ඊ.ටී. එෆ්. ආශ්‍රිත ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෞරවනීය ලෙස විශ්‍රාම ලැබීමේ අවස්ථාව  ලබා දෙන්න. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. පිළිබඳ  පසුගිය රාජපක්‍ෂ රජය කාලයේදී ඒක  කළමනාකරණය කළ ආකාරයත් ඒකෙන් පෞද්ගලිකව ලාබ ලබපු ආකාරයත් ගැන තියෙන අවිශ්වාසය නිසා තමයි අපි පොදුවේ විරුද්ධ වෙන්නේ. බයක් තියෙනවා 55 සිට 60 දක්වා වැඩි කළොත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කියලා” යනුවෙන් පවසා සිටියේය.

 • දිනේෂ් සමරකෝන්