අය වැය තුළ අර්ථසාධක අරමුදල අනතුරකට පත්ව ඇති බවත්, ජනතාව මුළාවට පත් කරන මෙම අය වැය අළු ගොඩකට පිම්බා වැන්නක් බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන්, විජයවර්ධන මහතා පැවසීය. රටේ ආර්ථිකය කඩා වැටුණේ 'කෝවිඩ්-19"  වෛරසය හේතුවෙන් නොවන බවත්, බලයට පත් වූ සැණින් ආණ්ඩුව බදු ආදායම අහිමිකර ගැනීමේ ප්‍රතිවිපාක මේ වනවිට අත්විදින බවත් විජයවර්ධන මහතා පවසා සිටියේය.



විජයවර්ධන මහතා මේ බව පවසා සිටියේ ඊයේ (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා,"69 ලක්ෂයක ජනවරමකින් පත්වු ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කරන අවස්ථවේ කෙටි කාලයකින් පිරිහීමට පත්වෙලා තියෙනවා. සමහර නායකයන් හිතනවා ඔහු සියලු දේ දන්නවා කියලා. පාලකයෙක් යනු සියලු දේ දන්න කෙනෙක් නෙමෙයි. පාලකයෙක් වුණාම කරන්න ඕන ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ අයගේ සහයෝගය අරන් රට  ඉදිරියට ගෙනියන එක. අපේ  ජනාධිපතිවරයා තමන් තමයි ආණ්ඩුව, තමන් කියන දේ තමයි කරන්න ඕන, තමන්ගේ වචන තමයි වක්‍රලේඛ කියනවා අපි දැක්කා.


මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන අය වැයත් හරියට අළු ගොඩකට පිම්බා වගේ තමයි. අළු ගොඩකට පිම්බම මොකද වෙන්නේ  කියලා කවුරුත් දන්නවා. අපේ ඇස්වලට කන්වලට අළු ගිහිල්ලා අවට පේන්නේ නැතුව යනවා.  කෝවිඩ් නිසා ලෝකයේ සියලු රටවල් ආර්ථික අවපාතයකට ලක්වෙලා තියෙනවා. මේ රටේ මේ ආර්ථික අර්බුදය පටන් ගත්තේ මේ ජනාධිපතිවරයා පත් වූ දවසේ ඉඳලමයි. බදු කප්පාදුව තුළින් තමයි ඒ ආර්ථික අර්බුදය පටන් ගත්තේ.
ජනතාවට රුපියල් 5,000 ගන්න පෝලිම්වල ඉන්න වෙලා. සමහරුන්ට දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා.


මේ අය වැයෙන් විශ්‍රාම යන වයස 60 කිරීම ඉතාම හොඳ තීරණයක්. හැබැයි ඒකෙන්ම කියනවා අර්ථසාධක අරමුදල ගන්න වයසත් 60 වෙන්න ඕන කියලා. මේ ආණ්ඩුව හදන්නේ අර්ධසාධක අරමුදලටත් විදින්නද කියලා අපිට හිතෙනවා. ඉතිහාසය ගත් ෙතාත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදියට ඉන්න කාලෙත් අර්ථසාධක අරමුදල සම්බන්ධ විවිධ ප්‍රශ්න ඇති වුණා.  ලබන වසර වෙද්දි අපේ රටට තව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. එළඹෙන වසරේදී ඇති වන අර්බුදයට විසඳුම් මොනවද කියලා කියන්න. අය වැයේ සමහර යෝජනා ගැන අපි සතුටු වෙනවා.  හැබැයි ආණ්ඩුව කියන්න ඕන මේ යෝජනා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. නැත්නම් මේ අය වැය නිකම නිකන් කොළයක් බවට පත්වේවි. රටේ ආර්ථික දැක්ම වහා රටට හෙළි කරන්න" යනුවෙන් පවසා සිටියේය.