ජපානයේ සිට මෙරටට පැනවිත් මාස අටකට අධික කාලයක් සැඟවී සිටි එරට කෝටිපති පවුලකට අයත් පහළොස් හැවිරිදි දැරියක් හා ඇයගේ විසිහැවිරිදි පෙම්වතා කොච්චිකඩේ පොලිසිය විසින් ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට​ ගෙන ඇත.



කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩිට ලද ඔත්තුවක් මත මාරවිල, මුහුදුකොටුවේ පිහිටි සැකකරුගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් පහළොස් හැවිරිදි දැරිය මාස හයක ගැබිනියක් බවද අනාවරණය වී ඇත.

මෙම දැරියගේ පෙම්වතා ජපානයේ අධ්‍යාපනය සඳහා ගොස් සිටියදී අමතර රැකියාව ලෙස සේවය කර ඇත්තේ ඇයගේ නිවසේය. එහිදී දෙදෙනා අතර පෙම් සබඳතාවක් හටගෙන ඇති අතර දැරියගේ මව විරුද්ධ වීම නිසා ඉකුත් මාර්තු 13 වැනිදා දෙදෙනාම ජපානයෙන් පැනවිත් ඇත.

ජපානයේ සිට ඔවුන් පැන එන බව දැනගත් දැරියගේ මව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දන්වා ඇත්තේ තම දැරියව පැහැරගෙන එන බවත්, ඇයට පිටව යාමට නොදී තමන් නම් කරන අයකුට ගුවන් තොටුපොළේදී භාරදෙන ලෙසත්ය.

මේ සමග ගුවන් කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දෙදෙනා භාරදුන් පසුව පෙම්වතා සමග යාමට අවශ්‍ය බව එම දැරිය පවසා ඇත. ඒ මොහොතේ මෙරට ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියකු ද පැමිණ දැරියගේ කැමැත්ත මත ඇයව කොච්චිකඩේ හෝටලයක නතර කර ඇත. ඇයගේ තනියට පෙම්වතාගේ සොහොයුරිය නැවැත්වීමට ද උපදෙස් දී තිබේ.

පෙම්වතා පසුදින හෝටලයට පැමිණ දැරිය ද සමග පලාගොස් තිබේ. මේ අතර මාර්තු 15 වැනිදා ඔච්නි හෝරා නමැති දැරියගේ මව විසින් කොච්චිකඩේ පොලිසියට වාචික පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

එදින සිට ඔවුන් දෙදෙනා විවිධ ප්‍රදේශවල සැඟවී සිට ඇති අතර සමාජ ජාලා ඔස්සේ මේ පිළිබඳ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා කරන ලද ප්‍රචාරයකින් පසුව ඊයේ (25 වැනිදා) මොවුන් ගැන තොරතුරු ලැබී ඇත.

සැකකරුවන් අද (26 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පැමිණිලිකාර ජපාන කාන්තාව මෙරටට පැමිණීමට නියමිතය. 

සිද්ධියට සම්බන්ධ පෙර විස්තරය
ජපානයට ගොස් කෝටිපතියාගේ දියණිය යාළුකරන් පැන ආ තරුණයා අල්ලන්න ජපන් මව ලංකාවට ඇවිත්