අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එරට කෝටිපතියකුගේ 15 හැවිරිදී එකම දියණිය  අපහරණය කර ශ්‍රී ලංකාවට පැමිණ මාස ගණනක් සැඟව සිටි 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමට  විමර්ශනයක් ආරම්භ කළ බව  කොච්චිකඩේ පොලිසිය කියයි.  මෙම සිද්ධිය පිළිබඳව ජපන් ජාතික තරුණියගේ  මව වන 'ඔට්නි සොරා' මහත්මිය ජපානයේ සිට පැමිණ 2020 මාර්තු මස 15 වෙනි දින  කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


මෙම පැමිණිල්ල පිළිබඳව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශ්‍රීනිත ජයකොඩි මහතා විසින් සිදුකරන ලද මූලික විමර්ශනයේදී සහ පැමිණිලෙන් හෙළිදරව් වූ කරුණු අනුව මෙම සැකකාර 24 හැවිරිදි තරුණයා කොච්චිකඩේ,
දළුවකොටුව පදිංචි තරුණයකු බව සොයාගෙන ඇත. ඔහු අධ්‍යාපනය හැදෑරිම සදහා වසර 4 කට පෙර ජපානයට ගොස් ඇත. එහිදී අධ්‍යාපනය ලබමින් වියදමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරේ ජපානයේ කෝටිපතියකුගේ නිවසේ තාවකාලිකව රැකියාවක නිරත වී ඇත.


පසුව කෝටිපති  ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි  බාලවයස්කාර දියණිය සමග  සැකකරු පෙම් සබඳතාවක් ගොඩ නගාගෙන ඇත. ඉන්  ටික කලකට පසු සැකකාර පෙම්වතා බාලවයස්කාර පෙම්වතියගේ මවුපියන් භාරකරුවන් නොදැනුවත්ව දැරිය අපහරණය කර ඇයද කැටුව මාර්තු මස 13 වැනි දින ගුවනින් ශ්‍රී  ලංකාවට පැමිණ ඇත. පසුව ජපන් මව තම දියණියට අත්වූ  ඉරණම පිළිබඳව ජපාන තානාපති කාර්යාලය මගින් පොලිසියට පැමිණිලි කර ඇත.  ඒ අනුව ජපන් තරුණියගේ මව ශ්‍රී ලංකාවට පැමිණෙන්නටද අපේක්ෂාවෙන් සිට ඇති අතර ඇය එන තෙක් ජපන් තානාපති කාර්යාලය මැදිහත්ව ජපන් තරුණිය සොයාගෙන ඇගේ ආරක්ෂාව සඳහා කොච්චිකඩේ  සංචාරක හෝටලයක ඇය නවතා ඇති අතර එම තරුණීයගේ වැඩි ආරක්ෂාව සඳහා යැයි කියමින් සැකකාර පෙම්වතාගේ නැගණිය ද එම හෝටලයේ රැදී සිට ඇත.

මේ අතර ජපන් පෙම්වතියගේ මව 15 දා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර  සැකකරු පැමිණ පෙම්වතිය සමඟ හෝටලයෙන් අතුරුදන්ව ඇත. මෙම අතුරුදන් වූ යුවළ සොයා ගැනීම සදහා මාස 7 ක පමණ කාලයක් පුළුල් පොලිස්  විමර්ශන සිදුකළත් එම සියල්ල  මේ වනවිට අසාර්ථක වී ඇත. මෙම බාලවයස්කාර දැරිය පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව අධිකරණය වෙත පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව එම සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇත. එම අපහරණයට ආධාර අනුබලදීමේ චෝදනා ලැබූ සැකකරුගේ මව, නැගණිය සහ තරුණීය අපහරණය කිරිමට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇපමත මුදා හැර ඇත.
ඔවුන් සොයා තවම පරීක්ෂණ සිදුවේ