ප්‍රවිණ නළු විල්සන් කරූ සම්බන්ධයෙන් පසුගිය සතියේ ඇතිවූ කතාබහ වූයේ ඔහුගේ ආර්ථික දරිද්‍රතාවය පිළිබඳවය. ඔහු 5000 දීමනාව ලබාගැනීමට පෝලිමක සිටියදී මුහුණු ආවරණයක් නොපැළඳ සිටීම ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන්ට පහරදීම නිසා අත්අඩංගුවට පත්වූ බවත් පසුව පැය 24 ක් රිමාන්ඩ් කර සිටි බවත් පැවසුණි.
ඔහුට පසුදා පොලිසියෙන් පිටත්වන්නට අවසර ලැබුණ පසු ඔහුගේ ආර්ථික දරිද්‍රතාව ගැන විවිධ පුවත් පළවිය. මෙහිදී අනුකම්පා කළ ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා ඔහුට දිවි ඇති තෙක් 30000 ක
මාසික දීමනාවක් ලබාදෙන්නට එකඟවූ බවටද සමාජ මාධ්‍ය පුවත් මැවුණි.

සිද්ධියෙන් පසුව විල්සන් කරූ වෙත ගිය මාධ්‍ය කිහිපයක්ම ඔහුගේ ප්‍රශ්නය කථාකර තිබුණි. නමුත් ඔහු මුලදී තමන්ගේ ගැටලු ගැන කිසිවක් කතා කළේ නැත.
මේ අතර යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් කිසියම් පරස්පර අදහස් කිහිපයක් ඔහු දැන් ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු මුලින් පවසන්නේ තමා කිරුළපන 5000 පොලිමේ සිටියේ වැඩිහිටි කාන්තාවකට 5000 ගන්න අමාරුවී ඒ උදව්වට බවත් ඇය සමග සිටියදී පොලිසිය නිල ඇඳුම් රහිතව පැමිණ තමන් සමග පැටළුණ බවකි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේ අගදී ඔහු පවසන්නේ තමන්ට 5000 ක් අවශ්‍ය නැති බවත් තමන් පෝලිමේ සිටියේ 5000 රැගෙන දුප්පතුන්ට බෙදාදීමට බවත්ය.

තමා හිඟන්නෙකු නොවන බවත් කෝටි 3 ක් වටිනා ව්‍යාපාරික ගොඩනැගිල්ලකින් ලැබෙන ආදායමක් තමන් සතු බවත් එම ආදායම පවුල් 4 කට කන්න දෙන්න තරම් ඇති බවත් පවසන ඔහු අවිවාහක තමාට වියදම ගැටලුවක් නැති බවත් තමාගේ සහෝදර සහෝදරියන්ට උදව් කරමින් නිවසේ ඇතිදැඩි කරන බළලුන් 13 දෙනාටද කෑම සපයමින් ජීවත්වන බවත් කීය. තමා කිසිදු ආර්ථික අපහසුතාවයක නොමැති බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මීට ඉහත මෑත කාලීන අවස්ථා දෙකකදී විල්සන් කරූ ගැන පළවූ වෙනත් පුවත් වලින් වාර්තා කර තිබුනේ ඔහුගේ ආර්ථික ගැටලු ගැනය. එකක් නම් රන්ජන් රාමනායක කිරුළපන හංදියේදී ඔහු හමුවී ඔහුට හාල් පාර්සල් හා මුදල් ලබාදෙන වීඩියෝවකි. එහිදී අසරණව සිටින කරූ ඉතා සංතෝෂයෙන් ඒවා භාරගෙන ස්තූති කරන අයුරු දැක්වේ.

දෙවැන්න නම් ඉරාජ් වීරරත්න වික්ටර් රත්නායකගේ නව ප්‍රේමය ගැන තැනූ විඩියෝවයි. එහිදී වික්ටර් ලෙස රඟපාන්නේ විල්සන් කරූය. වීඩියොව නිකුත්වී විවේචන පළවූ පසුව ඒ ගැන පුවත්පතකට අදහස් දක්වා තිබූ කරූ පවසා තිබුනේ 'මට සල්ලි දෙනව කිවව හින්දා රඟපෑවා. කවුරු ගැන මොනවට කරපු වීඩියෝ එකක්ද කියල මට තේරුනේ නෑ ඒක වැදගත් වුනේ නෑ' ලෙසිනි.