විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (1) ව්‍යවස්ථාවට අනුකුල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය. එසේම එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍යය බවටත් පනත් කෙටුම්පතේ 3, 5, 14 සහ 22 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට අනුකූල නොවන හෙයින් 83 වැනි ව්‍යවස්ථාවට අනුව ඒ වගත්ති හතර ජනමත විචාරණයකින් ජනතාව අනුමත කළ යුතු බවටත්, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි ද කතානායකවරයා ප්‍රකාශ කළේය.

කතානායකවරයා මෙසේ පැවැසුවේ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 

සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් බාරදෙනු ලැබූ තීරණය  ප්‍රකාශයට පත් කරමිනි.  කතානායකවරයා එම අධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමින්  මෙසේ ද කීය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද "විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (1) වැනි ව්‍යවස්ථාවට අනුකූල වන බවත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය වන බවත් පනත් කෙටුම්පතේ 3, 5, 14 සහ 22 යන වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යාවස්ථාව සමග කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවත්  එසේ වුව ද 3 සහ 14 යන වගන්තිවල ඇති අනනුකූලතාව යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවත් 5 වැනි වගන්තියේ ඇති අනනුකූලතාව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දන්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි නියෝග කරමි. මේ අනුව ජනමත විචාරණයක් මගින් ජනතාවගේ මතය විමසිය යුත් ජනාධිපතිවරයාගේ මුක්තිය (ජනාධිපතිට විරුද්ධව නඩු පැවැරිය  නොහැකි බවට වගන්තිය), පාර්ලිමේන්තුව වසරකට පෙර විසුරුවා හැරිය හැකි බවට වූ වගන්තිය, ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තු සභාවක් බවට පත් කිරීම හා මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා වූ වගන්තිය යන වගන්ති සඳහායි.


-සුජිත් හේවාජුලිගේ-