බෙල්ජියම මේ වනවිට නව කොරෝනා වසංගත සුනාමියක් ආසන්නයේ පසුවන බව එරට සෞඛ්‍ය ඇමති ෆ්‍රෑන්ක් වෑන්ඩෙන්බ්‍රොයුකේ පවසයි. එරට තුළ අලුතින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් පිරිසගේ දරුණු ඉහළ යාමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

"යුරෝපය තුළ නව කොරෝනාවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වෙන්නේ බෙල්ජියමයි. අපි දැන් නව

කොරෝනා සුනාමියකට ආසන්නයේ ඉන්නේ. අපිට තවදුරටත් මේ සිදුවන දේවල් පාලනය කරන්න බැහැ. කළ හැකි පාලනයත් සිදු කරන්නේ ඉතාමත් අසීරුවෙන් සහ දැඩි ආතතියෙන්” ඔහු වැඩිදුරටත් පවසා සිටියි. 

පසුගිය සතිය වනවිට බෙල්ජියම තුළ නව කොරෝනා ආසාදනය වී රෝහල්ගත වන ප්‍රමාණය 100%කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එරට රජය විසින් ඊයේ දිනයේ සිට රට තුළ ක්‍රියාත්මක මත්පැන් ශාලා සහ ආපනශාලා වසා දැමීමට ක්‍රියාකළ අතර, රාත්‍රී කාලයේ ඇඳිරිනීතියද යළි පැනවීම සිදුවිය.

"මේ ආසාදිතයන් ඉහළ යාම තවදුරටත් සිදු වුණොත්, රෝහල්ගත වන ප්‍රමාණය ඉහළ ගියොත්, COVID-19 නොවන රෝගීන් වෙත පහසුකම් සැලසීමෙන් වළකින්න අපිට සිදුවෙනවා. එයත් ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා රජය මහජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ව පරිස්සම් කරගන්න කියලයි. ඒ වගේම තමන්ගේ ආදරණීයයන් පරිස්සම් කරගන්න කියලයි.” සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.