පී.සී.ආර්. පරීක්‍ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවස්ථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මඟහැරිය නිසා තම වෘත්තිකයන්ට නිවැරැදි තාක්‍ෂණය නොලැබුණු බවත්, හිතාමතාම ඇති කරවන ලද එම ගැටලු දඩමීමා කරගනිමින් පී.සී.ආර්. පරීක්‍ෂණ ක්‍රියාවලිය ව්‍යාකූල කරදමමින් තම තමන්ට පෞද්ගලික වාසි ගැනීම මෙන්ම වෙනත් විකල්පවලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාවට වගකිව යුතු පරිපාලකයන් උත්සාහ දැරීම තුළ බරපතළ තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.හෙතෙම මෙසේද පැවැසීය.

 “පී.සී.ආර්. පරීක්‍ෂණ ධාරිතාව වැඩි කරගන්න පසුගිය කාලය පුරාම අපි විවිධ යෝජනා ඉදිරිපත් කළා. ලෝකයේ විවිධ රටවලින් ආධාර ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සිට ඉහළ අයට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ ඒ ගැන. ලෝක බැංකුව අප්‍රේල් මාසයේදී බිලියන එකසිය තිහක මුදලක් ලබා දුන්නා ‘කොවිඩ්’ සඳහා රෝහල් පරිශ්‍ර සූදානම් කරගැනීමේ ආධාර වෙනුවෙන්.
පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයකට. අපි කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵල ලැබෙන්න පැය 8ක් 9ක් යනවා. දවසට තුන් පාරක් තමයි යන්ත්‍රය පාවිච්චි කරන්නේ. 

දැන් ලෝකයේ තාක්‍ෂණය දියුණු වෙලා. පැයකින් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. රසායනාගාර කොච්චර වැඩි කළත් ඒවාට යන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. රසායනාගාර හදන එකෙත් සීමාවක් තියෙනවා. ඒකට විකල්පයක් තමයි අලුත් තාක්‍ෂණය. ඒ උපකරණ එකක්වත් අපිට ගෙනවිත් දුන්නේ නැහැ. දැන් පී.ආර්.සී. පරීක්‍ෂණ ධාරිතාව ගැන කතා කරනවා නම් අපි ප්‍රශ්න කරනවා රසායනාගාර සේවාවේ ධාරිතාව වැඩි කරන්න පසුගිය මාස කිහිපය ඇතුළත මොනවද කළේ කියලා. අඩු තරමින් අප ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් එක සාකච්ඡාවක්වත් පැවැත්වූවේ නැහැ. මේ රසායනාගාර පැය 24ම දුවන්න අපිට බැරිවෙලා තියෙන්නේ බලධාරීන් අතිකාල ගෙවන්න සීමාවක් දාලා. රැයක් දවාලක් නැතිව, අවදානම බලන්නේ නැතිව ජීවිතේ කැප කරලා රසායනාගාරේ වැඩ කළාම සාමාන්‍ය අතිකාලයවත් දෙන්නේ නැහැ. 

එහෙම රසායනාගාර පවත්වාගෙන යන්න බැහැ. මේකේ ධාරිතාව වැඩි කරනවා කියලා මුල්ලේරියාවේ හැදුව රසායනාගාරේ හරියට වැඩ කළේ නැහැ. පැහැදිලිවම එහි අකර්මණ්‍යතාවක් වෙලා තියෙනවා. එහි තිබිය යුතු මූලික ප්‍රමිතීන් පවා නැහැ. ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය සතු පී.සී.ආර්. යන්ත්‍ර 36ක් තවම හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පාවිච්චි කරනවා නම් දවසකට රටපුරා පරීක්‍ෂණ 4500ක් සිදු කරන්න පුළුවන්. පී.සී.ආර්. පරීක්‍ෂණ වෙනුවට ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනන පරීක්‍ෂණ ආරම්භ කරමු කියලා යෝජනා කළා. ඒ පරීක්‍ෂණ පටන් ගත්තොත් මූලික රෝහල්වල තියෙන උපකරණ එක්ක දවසට 3000ක් පමණ පරීක්‍ෂා කළ හැකියි. අද මේ අඳුරේ අතපත ගාන්නේ මේ කියන දේ ඇහුවේ නැති නිසා.
දැන් මේ පී.සී.ආර්. පරීක්‍ෂණ සම්බන්ධයෙන් අපේ රසායනාගාරවල ලොකු ප්‍රමාදයක් නැහැ. රසායනාගාරයට සාම්පල් එක ආවාම අපි පැය 24ක් ඇතුළත අපි කොහොම හරි කරනවා. හැබැයි රසායනාගාරයට සාම්පල් එක ගෙන ඒමේ ප්‍රශ්නයක් තියෙනවා. සාම්පල් ගන්න තැන්වල ප්‍රශ්නයක් තියෙනවා. සාම්පල් ගත්ත ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා.


 සාම්පල් ගන්න දී තිබෙන පහසුකම්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒවා ප්‍රවාහනය කරලා අදාළ රසායනාගාරය කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න රසායනාගාරයට විසඳන්න බැහැ. මේ අර්බුද සියල්ල මැද්දෙත් අපිට 10,000ක ධාරිතාවක් තියෙනවා. මේ කතාව මේ විධියට පතුරුවන්න හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් අපිට ආරංචි වෙනවා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (රසායනාගාර සේවා) ‘බළලා මල්ලෙන් එළියට පැනලා’ තියෙනවා. ඔහු එක පැත්තකින් කියනවා පී.සී.ආර්. ධාරිතාව ඉහළයි කියලා. අනෙක් පැත්තෙන් කියනවා විනාඩි 20 ටෙස්ට් එකක් තියෙනවා කියලා. ‘Rapid Test’ එහෙම නැත්නම් ‘ක්‍ෂණික පරීක්‍ෂණ’, ‘ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ ජනක’ පරීක්‍ෂණ කරන්න ඕනෑ කියලා ඒ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක පරීක්‍ෂණවලට ලෝකයේ තියෙන නරකම ක්‍රමය තමා ක්‍ෂණික පරීක්‍ෂණ. ක්‍ෂණික පරීක්‍ෂණ කට්ටල හදපු සමාගම්වලින් 80%ක්ම එම කට්ටල සුදුසු නැහැ කියලා තහවුරු වෙලා තියෙනවා. 


 ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනමක් දාලා තිබුණා ‘ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනන පරීක්‍ෂණ’ සඳහා ගන්නා ප්‍රතික්‍රියක හෝ ප්‍රතික්‍රියක කට්ටල සුදුසුද කියලාවත් පරීක්‍ෂා කිරීම තහනම් කියලා. ඒ සාම්පලයක්වත් ගෙන්වන්න දුන්නේ නැහැ. සුදුසුද නැද්ද කියලවත් බලන්න බැහැ. නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හිටි හැටියේ මෙහෙම කතා කරන්නේ කොහේ තියෙන ඒවා ගැනද. අපි සැක කරනවා පී.සී.ආර්.වල අර්බුදයක් ඇති කරන්නේ මේ රැපිඩ් ටෙස්ට් එක ගෙනැල්ලා මේ රටේ මිනිසුන්ගේ මුදල් ගසා කන්න. මේ ක්‍රමවේද මේකට තියෙන හොඳ ක්‍රමයක් නොවේ. බැරිම අවස්ථාවකදී කළ යුතු දෙයක්. මේ වසංගතයේදී අහවල් එක එපා කියන්න තරම් අපි මන්ද බුද්ධික නැහැ.