සමස්ත මගී ප්‍රවාහන බස් රථවලින් 10%ක් ධාවනය කිරීමටවත් දෛනිකව මගී ජනතාව නොමැති බවත්, මේ නිසා බස් රථ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් බස් රථ සංගම් හා මගී ප්‍රවාහන සේවක සංගම් සඳහන් කරති. උසස්පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කර ගනිමින් සුළු බස් රථ ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත්, එහෙත් එම බස් රථවලින් අතිවිශාල ප්‍රමාණයකට ඉන්ධන වියදමවත් නොලැබෙන බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ නිසා කෝවිඩ්-19 තත්ත්වය තුළ බස් රථ ධාවනය කිරීමට විධිමත් සෞඛ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, ඒ හරහා පොදු මගී ප්‍රවාහන සේවය පිළිබඳ ජනතා විශ්වාසයක් ඇති කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම මගී ජනතාව නොමැති වුවත්, උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් බස් රථ ධාවනය කරන බවත්, ඊයේ (26දා) දිනයේදී පිටකොටුව දක්වා බස් රථ ධාවනය කිරීමට නොහැකි වුවත්, ඒ ආසන්න ස්ථාන දක්වා බස් රථ ධාවනය කළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසිය. 


මගීන් නොමැති නිසා බස් රථ ධාවනය නොකරන බස් රථ හිමියන්ගේ සේම ධාවනය වන බස් රථවලට ෙදෙනිකව ආදායම් නොලැබීම නිසා සමස්ථ බස් රථ හිමියන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බවද සමස්ත ලංකා බස් සංගම් සම්මේලනය පෙන්වා දෙයි. මේ නිසා ජාතික ගමනාගමන කොමිසම හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් නවය විසින් වාර්ෂික බස් හිමියන්ගෙන්  අය කර ගන්නා මුදල්වලින් යම් මුදලක් යොදවා බස් හිමියන්ට සහන ලබාදිය යුතු බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේය.

කෝවිඩ්-19 තත්වය තුළ ඇදිරිනීතිය පනවා තිබෙන ප්‍රදේශවල හා හුදකලා කර තිබෙන ප්‍රදේශල සිටින බස් හිමියන් හා බස් රථ ‍සේවකයන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

මීට අමතරව කෝවිඩ්-19 ත තත්ත්වය නිසා අනෙකුත් ප්‍රදේශවල සිටින බස් හිමියන්ට සහ බස් රථ සේවකයන්ට ෙදෙනික ආදායම් අහිමි වී තිබෙන බවත්, මේ නිසා පළාත් සභා යටතේ ධාවනය වන බස් රථවල හිමිකරුවන්ට හා බස් රථ සේවකයන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සතු මුදල්වලින් සහන ලබාදිය යුතු බවද එම සංගමයේ ලේකම් කුමාරදාස කුලියාපිටිය මහතා පැවසීය. 

එමෙන්ම දුරගමන් සේවා බස් රථ හිමියන්ට හා සේවකයන්ට ජාතික ගමනාගමන කොමිසම හරහා සහන ලබාදිය යුතු බවත්, පළාත් 09 යටතේ ක්‍රියාත්මක වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වාර්ෂිකව බස් හිමියන්ගෙන් අතිවිශාල මුදලක් ලබාගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය. බස් හිමියන්ට ඇති හැකි සෑම අවස්ථාවකදීම ප්‍රවාහන ආයතන වෙත නිසියාකාරව මාර්ග බලපත්‍ර ගාස්තු, ලොග් බලපත්‍ර ගාස්තු ලබාදී තිබෙන බවත්, මේ නිසා බස් හිමියන් හා සේවකයන් අසරණ වී සිටින මේ මොහොතේදී අදාළ ආයතන බස් හිමියන්ට හා  සේවකයන්ට සහන ලබාදිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

- ඉන්දික හේවාවිතාරණ -