නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් විගණන සේවා කොමිසම පවත්වාගෙන යාමට තීරණය කර තිබුණද, නව ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති නිසා විගණන සේවා කොමිසමේ ස්වාධීනත්වය නැති වී යන බව විගණන නිලධාරීහු සඳහන් කරති.

මේ නිසා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ විගණන සේවා කොමිසම ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් විගණන සේවා කොමිසම ස්වාධීන ආයතනයක් බවට වගන්තියක් එකතු කළ යුතු බව එම නිලධාරීහු පෙන්වා දෙති.

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් රාජ්‍ය ක්‍රමය තුළ වර්තමානයේ පවතින සේවාවන් රාජ්‍ය සේවා කොමිසම මගින් පාලනය කරන බවට සඳහන් කර තිබෙන බවත්, මේ නිසා විගණන සේවා කොමිසම පවත්වාගෙන ගියත් විගණන සේවා කොමිසමේ පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් කටයුතු රාජ්‍ය සේවා කොමිසමට පැවරෙන බවත්

එම පිරිස් සඳහන් කරති.

එහෙත් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව විගණන සේවා කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම නිසා උසස් කිරීම, පත් කිරීම, මාරු කිරීම, අධි භාර පැනවීම විගණන සේවා කොමිසම විසින්ම සිදුකළ බවද එම පිරිස් පෙන්වා දෙති.

මේ නිසා විගණන සේවා කොමිසම ස්වාධීනව පවත්වාගෙන යාමට ආණ්ඩුව සෑම උවමනාවක් තිබෙනවා නම්, ස්වාධීනව කටයුතු කළ හැකි ආයතනයක් ලෙසට යෝජනා ව්‍යවස්ථා සංශෝධනයට විගණන සේවා කොමිසම ඇතුළත් කළ යුතු බවද ඔවුහු සඳහන් කරති. 

එසේ නොමැතිව විගණන සේවා කොමිසම අඛණ්ඩව පවත්වාගෙන යන බවට ආණ්ඩුවේ පීරිස් සඳහන් කළද, ඉන් සිදුවන්නේ, විගණන සේවා කොමිසම රාජ්‍ය සේවා කොමිසම මගින් පාලනය වන ආයතනයක් බවට පත්වීම බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ නිසා විගණන සේවා කොමිසම ස්වාධීන ආතනයක් ලෙස නම් කර නව ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් එකතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද එම පිරිස් වැඩිදුරටත් පවසා සිටිති.

- එච්.අයි. තුෂාර -