ක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සම්බන්ධයෙන් එතරම් වැඩි බලාපොරොත්තු තබා නොගෙන ජීවත් වන බවත්, බොහෝ අවස්ථාවලදී සිය ව්‍යාපාරික කටයුතු සඳහා
වැඩිමහල් දියණිය වන ඉවන්කා පෙරමුණට ගෙන ඒමට තීරණය කර ඇති බවත් ට්‍රම්පගේ හිටපු පෞද්ගලික නීතිඥයා වන මයිකල් කොහෙන් පවසයි.

DISLOYAL A MEMOIR -The True Story of The Former Personal Attorney to President Donald j.Trump යනුවෙන් ග්‍රන්ථයක් රචනා කරමින් මයිකල් කොහෙන් මේ කරුණු අනාවරණය කරයි. කොහෙන් ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයා ලෙස දශකයකට වඩා වැඩි කාලයක් කටයුතු කර තිබේ. එහෙත් ස්ටෝර්මි ඩැනියෙල් නම් අසභ්‍ය වීඩියෝපට නිළියක වෙත ඔහු ට්‍රම්ප් වෙනුවෙන් ඩොලර් 130,000ක මුදලක් ගෙවූ බවට 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙරාතුව හෙළිදරව් විය. එම සිදුවීමත් සමග ට්‍රම්ප්ගේ නීතීඥ තනතුරද ඔහුට අහිමි වූ අතර, එෆ්බීඅයි ආයතනය මගින් ඔහු අත්අඩංගුවටද ගැනුණි. ඔහුට වසර තුනක සිරදඬුවමක් නියම වූ අතර, මේ වසරේ ඉන් නිදහස් වුවත් නව කොරෝනාව නිසා ඔහුට නිවාස අඩස්සියට වී සිටින්නට සිදු විය.


තමන් මෙතෙක් සිදු කර ඇති වංචා කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටුම් හේතුවෙන් මෙලනියා මොනයම් හෝ මොහොතකදී ඈත්ව යනු ඇති බවට ට්‍රම්ප් දැඩි ලෙස විශ්වාස කළ බවත්, තමාට ඕනෑම අවස්ථාවකදී තවත් බිරිඳක ලබා ගැනීමේ හැකියාවක් ඇති බවට ට්‍රම්ප් පැවසූ බවත් මයිකල් කොහෙන් මෙම ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. “මට ඕනෑම වෙලාවක පුළුවන් අලුත් බිරිඳක් ගන්න. එය මට ගැටලුවක් නෙමෙයි. ඇයට යන්න ඕනේ නම් එය එසේ සිදු වුණාවේ.” ට්‍රම්ප් පවසා ඇත.

ඒ අනුව තමන් ඇති කරගන්නා සියලුම ආකාරයේ ව්‍යාපාරික ගනුදෙනුවලදී මෙලනියාට අවස්ථාව නොදී සෑම විටම සිය වැඩිමහල් දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඒ සඳහා යොදා ගැනීමට ට්‍රම්ප් කටයුතු කළ බවත් මයිකල් කොහෙන් මෙහිදී අනාවරණය කරයි. එහිදී බොහෝ ව්‍යාපාරික ගනුදෙනු සඳහා ඉවන්කා යොදා ගැනීම පිටුපස උපායමාර්ගයක් තිබූ බවත් ට්‍රම්ප් පැවසූ බව කොහෙන් සඳහන් කරයි.

"ඇය ඔවුන් වටේ කැරකෙනකොට ඔවුන්ට යමක් ගැන එක එල්ලේ කල්පනා කරන්න බැහැ. මොකද ඔවුන්ට බැහැ ඔවුන්ගේ ඇස් ඇගෙන් ඉවත් කර තබා ගන්න." ට්‍රම්ප් පවසා ඇත. මේ අතර මෙලනියා සහ ඉවන්කා අතරද යම් සීතල යුද්ධයක් පවතින බව දෙදෙනා ට්‍රම්ප් හා එකට එක්ව සහභාගි වන බොහෝ උත්සව අවස්ථාවලදී හොඳින් පෙන්නුම් කෙරෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධව පවතින කාතා ඇසුර පිළිබදව ඇති එකම කතාබහ ස්ටොර්මි ඩැනියල්ස් හා පැවති සබඳතාව පමණක් නොවෙයි. ඊට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක් වූ කාන්තාවන් මෙන්ම කැමැත්තෙන් ඔහු හා යහන්ගත වූ කාන්තාවන් සම්බන්ධයෙන්ද තොරතුරු රැසක්ම පවතී.