“ප්‍රේමලාල් ජයසේකර හිරේ නොගියොත් තේ දළු කඩනවා" යැයි තමා කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත්  සාක්ෂි හතළිස් අටක් සැලකිල්ලට ගෙන ඔහු ඝාතකයෙකු බවට අධිකරණය තීන්දු කරන ලද බවත්“
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය  (ස.ජ.බ.)
පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසුවාය. තමා අධිකරණ ඇමැතිවරිය ලෙස කටයුතු කරද්දී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවට බලපෑම් කළ බවට ඒ මහතා නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඇය කීවාය. ඇය මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. තලතා අතුකෝරල මහත්මිය මෙසේ ද කීවාය. මා නොසිටි අවස්ථාවක ප්‍රේමලාල් ජයසේකර මහතා මා සම්බන්ධයෙන් කළ චෝදනාව ප්‍රතික්‍ෂේප කරනවා. ඒ වගේම ඒ ගැන කනගාටු වෙනවා. මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වී එහෙම අසත්‍ය චෝදනා කරන එක වැරැදියි.

එතුමාට දඬුවම් නොලැබුණොත් තේ දළු කඩන බවට මම ප්‍රකාශයක් කර ඇතැයි ද ඔහු මෙතැන කිව්වා. ඒ ප්‍රකාශය ගැනත් මම කනගාටු වෙනවා. මම අධිකරණ ඇමැති වුණේ 2017 දි යි. ඒ වෙනකොට එතුමාගේ නඩුව යනවා. ප්‍රේමලාල් ජයසේකරට දඬුවම් දීල තියෙන්නේ සාක්ෂි හතළිස් අටක් සැලකිල්ලට ගෙනයි. මම නඩුවට බලපෑම් කළේ නැහැ. ඒ මරණකරු මගේ හිතවතෙක්. නීතීඥ සහාය ගන්න උදව් කළා. නඩුවේ තීන්දුව බැලුවම වෙලා තියන දේ පැහැදිලියි.

-අංජුල මහික වීරරත්න-