Sept 14. 6pm
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද පැවති රහස් ඡන්ද විමසීමේදීයි.
රුවන් විජේවර්ධන මහතා සහ රවී කරුණානායක මහතා අතරයි මෙම රහස් ඡන්ද විමසීම පැවැත්වුණේ.
ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.
Sept 13. 9am
හෙට (14) එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයට සම්බන්ධ තීරණාත්මක වෙනස සිදු කරනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ඒ අනුව හෙට වික්‍රමසිංහ පරම්පරාවට සම්බන්ධ තරුණ නායක රුවන් විජේවර්ධන එජාපයේ නියෝජ්‍ය නායක දක්වා උසස් කෙරෙන අතර මාස 3 ක වැඩ කාලසීමාවකින් පසු 2021 ජනවාරියේ සිට එජාප නායකයා ලෙස ඔහු තවදුරටත් උසස්වීම් කර පත් කිරීමට නියමිත බව
අභ්‍යන්තර දේශපාලන වාර්තා සඳහන් කර තිබේ.හෙට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවත්වන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී
මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂයේ හිස්ව ඇති සියලුම තනතුරු වෙනස් කෙරෙන බවද මේ අතර වාර්තාවේ. පක්ෂ නායක රනිල්ට හිමි වරප්‍රසාද බලය අනුව ඡන්ද විමසීමකින් තොරව හෙට (14) මෙම තෝරා පත් කර ගැනීම් සිදුවන බවද වාර්තාවේ.


එහි දී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු කිහිපයකට සුදුස්සන් පත් කිරීමට නියමිතය.
පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.

මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කර නියෝජ්‍ය නායකත්වයට පත් වන රුවන් විජේවර්ධන ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක රනිල් වික්‍රම සිංහ තීරණය කර ඇත.

දේශපාලන රාජවංශයක උපත ලැබූ රුවන් විජේවර්ධන  රංජනී සේනානායක සහ රංජිත් විජේවර්ධන (විජය පුවත්පත්වල සභාපති) ගේ බාල පුත්‍රයාය. ඔහුගේ මවගේ සීයා, ගරු ඩී. එස්. සේනානායක වන අතර ඔහුගේ පියාගේ සීයා ඩී. ආර්. විජේවර්ධනයි.
එජාපයේ වත්මන් නායක රනිල්ගේ මවගේ පියා හෙවත් රනිල්ගේ සීයා වන්නේද ඩීආර් විජේවර්ධනයි.
ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ට නෑකමින් රුවන් විජේවර්ධන බෑනාවේ.
රුවන් විජේවර්ධන සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේදී සම්පූර්ණ කළේය. ඉන්පසු ඔහු එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ අතර එහිදී ඔහු ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය.

2009 දී බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රී ධූරයක් දරා සිය පළමු දේශපාලන තනතුර ලබාගත්  රුවන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. ආරක්ෂක රාජ්‍ය ඇමති වශයෙන් පසුගිය යහපාලන රජයේ කටයුතු කළේය.ඔහු එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වනු ඇත.