ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාවට මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන අන්‍යාගමිකයින්ටත් දැනුම ලබා ගැනීම සඳහා කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය අද  පටන් හේතුවක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (12) දින පැවසීය.



කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය www.kelaniyatemple.lk අන්තර්ජාලයට මුදා හැරීමේ “කල්‍යාණෝදා” උත්සවය අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ  බව සඳහන් කළේය.

බෞද්ධ දර්ශනය පිළිබඳවත්, ස්වාමීන් වහන්සේලාට යොමුවන විවිධ ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමට රජය විසින් කළ යුතු කාර්යක් අද කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය  කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු දායක සභාව විසින් ඉටු කොට ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

“ශ්‍රී කල්‍යාණි දුරුතු ධර්ම දේශනා - 12 ග්‍රන්ථය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

කැලණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිට ආරම්භ කිරීම ඵෙතිහාසික අවස්ථාවක් බවත්, ලොව පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති අවස්ථාවක බෞද්ධ දර්ශනය පිළිබඳව උනන්දු වන සියලු  දෙනාට මෙම නව වෙබ් අඩවිය ඔස්සේ බෞද්ධ කරුණු අධ්‍යනය කළ හැකි බවත්, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක  හිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුව දුක් විමසා උත්සව සභාවට එක්ව සිටි අනෙකුත්
ස්වාමීන්වහන්සේලා සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

කොළඹ නව කෝරලේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පානාකාවේ ශ්‍රී පේමරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර  මහත්වරු ඇතුළු කැලණිය රජ මහා විහාර දායක සභාවේ සාමාජිකයින්, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.