[Trending][btop]
[News][stack]
'/>

'ජයරත්න මල්' අපේ තාත්තගේ -නීතිපති සම්බන්ධීකාරිකා නිශාරා ජයරත්න

මේ දිනවල මාධ්‍යයේ නිතර කියැවෙන චරිතයක් වන්නේ  නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිධුරය දරන නිෂාරා ජයරත්නය.
 ‘මල් නම් ජයරත්න ජයරත්න නම් මල්’ යනුවෙන් කවුරුත් දන්නා ව්‍යාපාරයේ ප්‍රධානියා නිෂාරාගේ පියාය.  ඇය තම දිවි ගමන සතිඅන්ත පුවත්පතකට
හෙළි කළේ මෙසේය.

අපේ කතාබහ ඔබේ පුංචි කාලයෙන්ම පටන් ගමු. කොහේදිද ඉපදුණේ? කොළඹද?

ඔව්. මම ඉපදුණේ කොළඹ. උපන් දා ඉඳලා මම කොළඹ ජීවත් වෙන්නේ.


ඔබේ අම්මයි තාත්තයි කොළඹ උපන් අයද?

ඔව්. දෙන්නම කොළඔ උපන් අය.

එතකොට ඔබ ඉස්කෝලේ ගියේ?

මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ.

උසස් පෙළ කරන්න වෙනත් පාසලක් තෝරා ගත්තේ ඇයි?

අපේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව වුණේ උසස් අධ්‍යාපනයට මාව එංගලන්තයට යවන්න. ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගියහම ලන්ඩන් ඒ ලෙවල් කරන්න පුළුවන් නිසයි එහෙම කළේ. හැබැයි ඒක අමාරුවෙන් ගත්ත තීරණයක්. මොකද අවුරුදු එකොළහක් ගිය පාසල සහ මගේ මිතුරියන් දාලා යන එක ලේසි වුණේ නැහැ.

ඔබේ පවුලේ විස්තර කොහොමද? සහෝදර සහෝදරියන් ඉන්නවද?

මගේ අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා ව්‍යාපාරිකයෙක්. මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ.

ඔබේ පියා ‘ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු’ සමූහ ව්‍යාපාරයේ හිමිකරු නේද?

මෙහෙමයි. ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා. ව්‍යාපාරය දැන් තියෙන මට්ටමට දියුණු කළේ මගේ තාත්තා. තාත්තා එහි හිමිකරු සහ සභාපති ලෙස කටයුතු කරනවා.

පුංචි කාලේ ගෙදර පරිසරය කොහොමද? මල්ලිත් එක්ක රණ්ඩු අල්ලපු වෙලාවල් එහෙම නැද්ද?

අපි ඉතින් පුංචි පවුලක්. හරිම සහයෝගයෙන් සතුටින් ජීවත් වුණේ. අදත් එහෙමයි. මල්ලියි මමයි රණ්ඩු කරගත් වෙලාවල් නම් නැහැ. මට ඉන්න එකම සහෝදරයානේ. මම දෙන උපදෙසක් වුණත් ඔහු පිළිගන්නේ බොහෝම කැමැත්තෙන්.

මල්ලි මොකද කරන්නේ?

මල්ලිත් උපාධිය කළේ එංගලන්තේ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ​ඉන්නේ.

තාත්තයි, අම්මයි, මල්ලියි තුන්දෙනා ගැනම කතා කළත් ඔවුන්ගේ නම් අහන්න අමතක වුණා?

තාත්තා ගාමිණී ජයරත්න. අම්මා චමරි ජයරත්න. මල්ලි හසංග ජයරත්න.

නීති ක්ෂේත්‍රයට එන්න ඔබට පුංචි කාලේ ඉඳලම කැමැත්තක් තිබුණද? නැත්නම් මවුපියන්ගේ කැමැත්තටද අද ඉන්න තැනට එන පාර තෝරා ගත්තේ?


ඇත්තටම මේක මගේ අම්මාගේ සිහිනයක්. මොකද ඇයට හීනයක් තිබිලා තියෙනවා නීතිඥවරියක් වෙන්න. හැබැයි අම්මට එය කර ගන්න බැරි වුණා. ඉතින් ඇය ඒ හීනය මා තුළින් දැක්කා. අම්මා තමයි මට අවශ්‍ය කරන මග පෙන්වීම් කළේ.
අනෙක් අතට තාත්තා ව්‍යාපාර කටයුතු එක්ක කාර්ය බහුලයි. ඒ නිසා අම්මා තමයි අපේ අධ්‍යාපන කටයුතුවලට මගපෙන්නුවේ. අපේ අම්මගේ අම්මයි තාත්තයි මගෙයි මල්ලිගෙයි කටයුතුවලට සෑහෙන උදව් කළා. මාව ඉස්කෝලේ එක්කරගෙන ගියෙත් ආපහු එක්කරගෙන ආවෙත් සීයා.

ඉගෙනීමට විතරමද අම්මගෙන් අවසර ලැබුණේ. සංගීතය, නර්තනය වගේ දේවල් හැදෑරුවේ නැද්ද?

විශාරද නන්දා මාලනී මහත්මිය ළඟ මම පුංචි කාලේ ඉඳලම සංගීතය හැදෑරුවා. සංගීත විශාරද අවසන් විභාගය පෙනි පෙනී මට එය නවත්වන්න වුණා. මොකද සංගීතය කරන්න ගිහින් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා බයක් අම්මට තිබුණ නිසා.

හොඳයි. අපි දැන් කතා කරමු නීති අධ්‍යාපන ක්ෂේත්‍රයට එන්න ඔබට පසුබිම හැදුණු හැටි?

නීති ක්ෂේත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ වෙනකම් නීතිය ගැන ඉගැන්වීමක් සිදුවෙන්නෙත් නැහැ. අපේ අම්මා මාව ලන්ඩන් ඒ ලෙවල් කරන්න යොමු කරන්න හේතුවක් වුණේ එයින් නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. ​​​මොකද ඒ කාලේ ලන්ඩන් ඒ ලේවල්වලට ‘නීතිය’ එක් විෂයක් ලෙස ඉගෙන ගන්න පුලුවන්.
අපේ අම්මා එයින් බලාපොරොත්තු වුණු තව දෙයක් තිබුණා. ඒ තමයි ලන්ඩන් ඒ ලෙවල්වලදී මම ‘නීතිය’ හදාරලා. එයින් මම ලබාගන්න අවබෝධයත් එක්ක උසස් අධ්‍යාපනයටත් නීතියම තෝරාගන්නවද නැද්ද කියන තීරණය ගන්න මට අවස්ථාව දීම.

උසස් පෙළ ‘නීතිය’ විෂයට ලැබුණු ප්‍රතිඵලය කොහොමද?

මම කලිනුත් කිව්වා වගේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මම ඉවත් වෙලා ආවේ බලවත් අකැමැත්තකින්. හැබැයි ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී නීතිය ගැන හදාරන්න ගත්තට පස්සේ මම එයට ඉතාම කැමැති වුණා. හොඳින් අධ්‍යාපන කටයුතු කළා. නීතිය විෂයට ‘A’ සාමාර්ථයක් එක්ක උසස් පෙළ හොඳින් සමත් වුණා.

මියුසික් කළා වගේ ඉස්කෝලේ කාලේ වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් කළේ නැද්ද?

එහෙම කරපු හැම දෙයක්ම මියුසික්වලට සම්බන්ධ දේවල්. මොකද පුංචි කාලේ ඉඳලම මම බටහිර සංගීතයට වඩා භාරතීය සංගීතයට හරිම කැමැති කෙනෙක්. පාසලේ මම පෙරදිග සංගීත කණ්ඩායමේ හිටියා. එහෙම ඉන්න අතරේ බටහිර සංගීත කණ්ඩායමේ ගුරුතුමිය මට කතා කළා ඇගේ කණ්ඩායමටත්. ඉතින් මම පාසලේ පෙරදිග සහ අපරදිග සංගීත කණ්ඩායම් දෙකේම සාමාජිකාවක් ලෙස කටයුතු කළා.

අනෙක් කාරණය මේකයි. මගේ තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඔහු ආනන්ද විද්‍යාලයේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රථම නායකයා. එය ඔහු ආනන්ද ඉතිහාසයේ තැබූ වාර්තාවක්.

දැන් වගේම ඉස්කෝලේ කාලෙත් ඔබ බො​හොම ප්‍රියමනාප තරුණියක් වෙන්න ඇති. කොහොමද පිරිමි ළමයින්ගෙන් තිබුණු ආකර්ෂණය? ප්‍රේමවන්තයෙක් එහෙම හිටියේ නැද්ද?

මෙහෙමයි. මම ගෙදරින් ඉස්කෝලෙට, ඉස්කෝලෙන් ගෙදරට ආපු කෙනෙක්. ටියුෂන් වුණත් කළේ ගුරුවරු ගෙදරට ගෙන්වලා. මම බාහිර සමාජයට තනියම නොගිය තරම්. පිරිමි ළමයි හම්බවුණේ දහම් පාසලේදී. ඊට පස්සේ පිරිමි ළමයින් හමු වුණේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී. දහම් පාසලෙත්, ස්ටැෆර්ඩ් පාසලෙත් මට පිරිමි යාළුවෝ හිටියා. හැබැයි පෙම්වතෙක් නම් හිටියේ නැහැ.

කොයි දහම් පාසලටද ගියේ?

කොටපොළ අමරකිත්ති හාමුදුරුවන්ගේ ශාන්ති පදනම මගින් කළ දහම් පාසලට. ඒක තිබුණේ බොරැල්ලේ.

උසස් අධ්‍යාපනයට එංගලන්තේ ගත කළ කාලය කොහොමද?

උසස් අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වීම මගේ ජීවිතේ මම ගත්ත අමාරුම තීරණවලින් එකක්. මොකද ඉපදුණු දවසේ ඉඳලා විදෙස්ගත වෙන දවස වෙනකම් මගේ මවුපියන් හැමදේම මට කරලා දුන්නා. හැම පහසුකමක්ම දුන්නා. සාමාන්‍ය ගෙදර ​දොරේ වැඩක්වත් මට කරන්න දුන්නේ නැහැ. මලක් වගේ මාව හැදුවේ. හැබැයි පිටරට ගියාම මම හැමදේම තනියම කර ගන්න ඕන.

එංගලන්​තෙ හිටිය අවුරුදු තුනේ මම හැමදේම තනියම කරගත්තේ. මගේ මවුපියන්ට හැකියාව තිබුණා මගේ උදව්වට කෙනෙක් එහේ නවත්වන්න. හැබැයි එයාලා එහෙම කළේ නැහැ. මට මගේ දේවල් තනියම කරගන්න හුරුවෙන්න අම්මයි තාත්තයි එහෙම කරන්න ඇති. දැන් බලද්දී ඒ අවුරුදු තුන මට ඇත්තටම විශාල පන්නරයක් වුණා.

එංගලන්තේ කොයි විශ්වවිද්‍යාලයේද ඔබ ඉගෙන ගත්තේ?

කෙන්ට් විශ්වවිද්‍යාලයේ. එය තියෙන්නේ ලන්ඩන් ඉඳන් පැය එකහමාරක විතර දුරින්. මගේ වි​ශ්වවිද්‍යාලය කිට්ටුව තමයි කැන්ටබරි දෙව් මැදුර තියෙන්නේ. ඒක හරි ලස්සන ප්‍රදේශයක්. හැබැයි අධික සීතල සහ වැසි සහිත කාලගුණ පැවැති කාල අභියෝගයක් වුණා.

කෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පස්සේ ​මොකද කළේ? එංගලන්තේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නද?

ඒක තමන්ගේ කැමැත්ත. නීති උපාධිය ගත්තට පස්සේ මට අවශ්‍ය නම් තිබුණා පශ්චාත් උපාධිය කරන්න. එහෙම නැත්නම් එහේ නීති ක්ෂේත්‍රයට අවශ්‍ය බැරිස්ටර්ස් කියන විභාගය කරන්න. හැබැයි මගේ අම්මාගේ තීරණය වුණේ ඉතා ඉක්මනින් මම යළි ලංකාවට ආ යුතුයි කියන එක. එහෙම ඇවිත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග කළ යුතුයි කියන එක.

ඉතින් මං ලංකාවට ආවා. විදෙස් උපාධියක් තියෙන නිසා මම කැමැති නම් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වසර එකහමාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සිවෙලා වසර එකහමාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන එක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට පස්සේ දෙදහස් එකොළහේ දෙසැම්බර් මාසේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා.

පෞද්ගලික නීති ක්ෂේත්‍රයට යන්නේ නැතුව රාජ්‍ය සේවයට එන්න තීරණය කළේ ඇයි?

මේ කතාබහේදී ඔබට තේරෙන්න ඇති මගේ මුළු ජීවිතේම අම්මාගේ මග පෙන්වීමෙන් ආපු බව. තීරණාත්මක අවස්ථාවල තීරකයා වු​ණේ අම්මා. ඉතින් ඔතැනදිත් එහෙමයි. මම යන්න ඕන මාර්ගය මොකක්ද කියලා අම්මා ඔය වෙනකොටත් හොයාබලලා ඉවරයි. ඇගේ තීරණය වුණේ මම නීතිපති ​දෙපාර්තමේන්තුවට බැඳෙන්න ඕනෑ කියන එක.

අනෙක් අතට මම මේසයක් පිටුපසට වෙලා කරන ජොබ්වලට කැමැති නැහැ. හැබැයි අපරාධ නීති ක්ෂේත්‍රයට හරි කැමැතියි. අම්මා කිව්වට පස්සේ මමත් නීතිපති දෙපාර්තමේන්තුව ගැන හොයලා බැලුවා.

එතකොට මට දැනගන්න ලැබුණා මෙහි සිවිල් සහ අපරාධ ලෙස ප්‍රධාන අංශ දෙකක් තියෙන බව. අනෙක් අතට මට වැටහුණා නීතිපතිවරයා යටතේ රජයේ අධිනීතිඥවරියක් ලෙස කටයුතු කිරීම ලේසියෙන් කෙනෙකුට නොලැබෙන බො​හෝම ගරු ගාම්භීර රැකියාවක් කියලා. ඉතින් දෙදහස් දහතුනේදී නීතිපති දෙපාර්තමේන්තුවට අධිනීතිඥවරු බඳවා ගන්න ගැසට් පත්‍රය නිකුත් කළහම මම එයට අයැදුම් කරලා සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම සමත්වෙලා රජයේ අධිනීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්වුණා. එහෙම ස්ථීර සේවයට එන්න කලින් වසර දෙකක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ ආගමන සහ විගමන අංශයේ නීතිඥවරියක් ලෙස තාවකාලික පදනම මත සේවය කළා.

නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණට පස්සේ කොළඹින් පිට ප්‍රදේශවලත් රාජකාරිය කළාද?

ඔව්. හලාවත, මාතර, කෑගල්ල සහ ගම්පහ මහාධිකරණවල මම අපරාධ නඩු කටයුතු මෙහෙයවූවා. ඒ හැම තැනකදීම මම මගේ කාර්යය නිසි ලෙස ඉටු කළා.

එහෙම රාජකාරි කරද්දි විත්තිකරුවන්ගෙන් තර්ජන එල්ල වුණු අවස්ථා එහෙම තියෙනවද?

එහෙම වෙච්ච අවස්ථා නම් නැහැ. ඔවුන් හිතන්න ඇති මම කරන්නේ මගේ රාජකාරිය කියලා.

ඔබ කොළඹ රාජකාරියට ආවේ කොයි කාලෙද?

දෙදහස් දහහත අවුරුද්දේදි. කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය යටතේ වෙනම ඒකකයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු ​මෙහෙයවන්න. එවකට එය අධීක්ෂණය කරන්න භාරව හිටියේ වත්මන් නීතිපතිතුමා. එතුමා මගෙන් ඇහුවා එම ඒකකයේ වැඩ කරන්න කැමතිද කියලා. මම හිතුවා ඒක මට හොඳ අවස්ථාවක් කියලා. ඔය කාලේ බැඳුම්කර නඩුවත් එක්ක රටේ ජනතාව ඔහුව දැනගෙන හිටියේ. එතකොට දප්පුල ද ලිවේරා මහතා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්. දෙදහස් දහහතේ ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් මම දප්පුල ද ලිවේරා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ රාජකාරි කළා.

නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ වගකීම ඔබට පැවැරුණාම ඔබ එක රැයින් තරුවක් වෙනවා. කොහොමද මේ රාජකාරිය ඔබට පැවැරුණේ?

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන පොදු ජනතාවට ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. අපි විශාල වැඩ කොටසක් කරනවා. හැබැයි රටේ ජනතාව එය දැනගෙන හිටියෙ නැහැ. ගොඩක් අය හිතාගෙන හිටියේ මෙතැනත් වැඩක් නොකරන ආයතනයක් කියලා. වත්මන් නීතිපතිතුමා නීතිපතිධුරයට පත්වුණාට පස්සේ ඔහුට ඕනෑ වුණා මේ තත්ත්වය වෙනස් කරන්න.

දහනව වෙනි සං​​​ශෝධනයෙන් ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනතටත් එතුමා බොහෝ කැමැතියි. විනිවිදභාවය, වගවීම සහ සංවේදීබව කියන සංකල්ප තුන ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට හදුන්වා දුන්නා. මහජනතාවට දැනගත යුතු කරුණු කොහොමද ජනතාව අතරට බෙදාහරින්නේ කියලා නීතිපතිතුමා කල්පනා කරන්න ඇති. එතකොට තමයි අපි කරන දේවල් ජනතාව අතරට යන්නේ. එතැනදි තමයි ‘නීතිපති සම්බන්ධීකරණ නිලධාරී’ කියන තනතුර නීතිපතිතුමා විසින් ඇති කළේ. එයට ඔහුගේ තෝරා ගැනීම වුණේ මාව. මම වැඩකරන ක්‍රමවත් බව, පිළිවෙළ එයට බලපාන්න ඇති කියලා මම හිතනවා. වත්මන් නීතිපතිතුමා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මහජන විශ්වාසය දිනාගෙන තියෙනවා. එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මටත් නිහතමානී සතුටක් තියෙනවා.

අපේ මාධ්‍ය මිතුරන් එක්ක කරන ගනුදෙනුව කොහොමද?

හරිම සතුටින් මම මගේ රාජකාරිය කරන්නේ. හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නැතිනම් මගේ රාජකාරිය කරන එක ලේසි නැහැ. මොකද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියට අමතරව මම කොළඔ මහාධිකරණ අංක එකෙහි පැමිණිල්ල මෙහෙය වන රජයේ ප්‍රධාන අධිනීතිඥවරිය ලෙස කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම් – නීති වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙත් වැඩ කරනවා.

ඔබේ සමකාලීන මිතුරියන් ඔබට වඩා සැහැල්ලු ජීවිත ගත කරනවා කියලා හිතෙන්නේ නැද්ද? ඔබේ ජීවිතේ තරමක් හිරවෙලා රාමුවකට කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම මම ඉටුකරන බැරෑරුම් රාජකාරියත් එක්ක මගේ ජීවිතේ යම් රාමුවකට කොටුවෙලා වගේ තමයි. හැබැයි මේක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මගේ රාජකාරි හරියට කරලා මම ලබන්නේ විශාල තෘප්තියක්.

නන්දා මාලිනිය ළඟදී හමුවුණේ නැද්ද? ​මොනවද ඇය ගෝලයා ගැන කියන්නේ?

එතුමිය මට නිතර හමුවෙනවා. මේ කාර්යබහුලත්වය අඩු වුණු කාලෙක විශාරද විභාගයේ ඉතිරි ටික සම්පූර්ණ කරගන්න ඕනෑ.

එතකොට ඉස්කෝලේ යාළුවෝ?

ඉස්කෝලේ යාළුවෝ නම් නිතර හමුවෙනවා අඩුයි. හැබැයි යාළුකම්වල වෙනසක් නැහැ.

ගෙවෙමින් තියෙන්නේ ජීවිතේ හොඳම කාලේ. ජීවිතේ බෙදාහදාගන්න කෙනෙක්, විවාහයක් ගැන තවම හිතලා නැද්ද?

ඔය ප්‍රශ්නෙට මට මේ වෙලාවෙ උත්තර දෙන්න බැහැ.

හසිත කුරුප්පු (අරුණ)