සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
විදේශ සබදතා අමාත්‍යාංශ කියා සිටින්නේ එය වසා දමා ඇත්තේ ඇත්තේ සති දෙකක කාලයකට පමණක් බවයි.

ජෙඩා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ජෙඩා නුවර වැඩබලන ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ටී.එෆ්.එම් ආශික් මහතා පවසයි.

එම සේවකයා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වසර 20කට වැඩිකාලයක් කටයුතු කළ අයෙකු බවත් ඔහු එරට වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් වැඩබලන කොන්සියුලර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියි.

අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එම වයිරසය වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට ඔවුන්වද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් ජෙඩා ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට නිරතුරුවම ලාංකිකයින් විශාල පිරිසක් කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සති දෙකකට එම කාර්යාලය වසා දමා ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.