ළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ තිස්හයෙන් ශීතකරණ විසි හතකම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තත්පත් කර තිබීමත් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ
සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට හෝ පහසුකම් නොමැතිව, කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.  වාර්තා වූ සැණින්, හඳුනා නොගත් සිරුරු මෘත ශරීරාගාරයට යොමු කරනවා විනා, ඒ පිළිබඳව පසුවිපරම් කොට, පශ්චාත් මරණ පරික්සණ පවත්වා මෘත දේහ ඥාතීන්ට බාරදීමට පොලීසිය දක්වන උදාසීන බව මීට  හේතු වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් කියා සිටී. මේ අතර, හෝමාගම පොලිස් වසමත් 2018.06.26 වැනිදා රැගෙන ආ මළ සිරුරක් ද, 2017.08.08 දින පානදුරෙන් රැගෙන ආ මළ සිරුරක්ද, 2019.10.05 දින පිළියන්දලින් රැගෙන ආ මළ සිරුරක්ද මෙම ශීතකරණවල තිබෙන බව පැවසේ.

ඊට අමතරව මිරිහාන පොලිස් වසමෙන් මළ සිරුරු 04 ද, ගල්කිස්සෙන් 03 ද, මහරගමින්  03 ද, බොරලැස්ගමුවෙන් 02 ද, පිළියන්දලින් 03 ද, මොරටුවෙන් 02 ද, කහතුඩුවෙන් 01 ද, මොරටුමුල්ලෙන් 01, කොහුවලින් 03, මීගොඩින් 01, වැල්ලවත්තෙන් 01 ලෙස හඳුනා නොගත් මළ සිරුරු 27ක් මේ වනවිට තැත්පත් කර ඇති බව ජොලිසිය කියයි.මෙහි ඇති ශීතකරණ 36න් ශීතකරණ විසිහතක් මේ සඳහා වෙන් කළ විට, ඉතිරිව ඇති ශීතකරණවලින් 02ක් වැදමහ තැත්පත් කිරීමට ද තවත් 03ක් ශල්‍යාගාර පහසුකම් සඳහා ද වෙන් වූ විට ඉතිරිව ඇත්තේ ශීතකරණ හතරක් පමණක් බැවින් ඒවා  දෛනික සේවා සැපයීමට ප්‍රමාණවත් නොවන බවද පැවසේ. එක ශීතකරණයක සිරුරු දෙක බැගින් තැපත් කිරීමට හැකියාවක් නැති බවද රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සාමාන්‍යයෙන් දිනකට සිරුරු 6-8 අතර ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී එම සිරුරු  තැත්පත් කිරීමට පවා පහසුකම් නොමැතිවීමෙන් බාරකරුවන් පැමිණෙන තෙක් ට්‍රොලියක් මත තැබීමට සිදුවන බව ද කියා සිටි.. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී පොලිසියේ බලධාරීන් දැනුවත් කර ඇතත් පිට ස්ථිරසාර විසඳුමක් මෙතෙක් නොලැබීම කනගාටුවට කරුණක් බව එම ආරංචිමාර්ග අවධාරණය කරයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ඉදිරියේදී රැගෙන එන හඳුනා නොගත් සිරුරු බාර නොගැනීමේ අවදානමක් මතුව ඇති බවද පැවසේ.

විවිධ පොලිස් වසම්වලින් රැගෙන එන  හඳුනා නොගත් සිරුරු පමණක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට  සිදුවන බවත් එසේ වුවහොත් ජනතාව දැඩි අසීරුතාවකට ලක්විය හැකි බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ බලධාරියකුගෙන් විමසූවිට ඔහු මෙසේ කීය.  “මෙම කාරණය ඇත්ත. දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාංගාරයේ හඳුනා  නොගත් මළ සිරුරු විසිහතක් තිබෙනවා. මේ නිසා දෙනික වැඩ කටයුතුවලට බාධා එල්ල  වෙලා තියෙන්නෙ . මේ තත්ත්වය අද විතරක්  නෙමෙයි කාලෙක සිට පවතින දෙයක්. මෙම සිරුරු හැකි ඉක්මනින් නිදහස් කරන්නට ක්‍රමවේදයක් එනවා නම් හොඳයි. අපි ළග තියෙන්නේ 2000 වසරට කලින් ලැබුණු ශීතාගාර. එහි සිරුරු දෙකක් තැත්පත් කිරීමට පහසුකම් නෑ. ඒ නිසා එක ශීතකරණයක එක සිරුරයි තැත්පත් කරන්න පුළුවන්. මේ පිළිබඳව පොලිසියේ ඉහළ බලධාරීන් දැනුවත් කරලා තිබෙනවා. ඉතා ඉක්මනින් විසඳුමක් ලැබේවි කියා හිතනවා.

-ශාන්ත ප්‍රදීප් කුමාර-