ශ්‍රී ලාංකේය පාපන්දු ක්‍රීඩාව ලෝකයත් සමඟ බැලූ කළ මහා වෘක්ෂ ඉදිරියේ තිබෙන කුඩා පැළෑටියකි. මෙරට පාපන්දුවේ ජාත්‍යන්තර පිළිගැනීම ඒ තරමට කනගාටුදායකය. ක්‍රීඩා සමාජ මට්ටමින් ගත්තද, ලොව ජනප්‍රිය ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන පූර්ණ ශ්‍රී ලාංකිකයෙකු අද වන තුරුත් බිහිවී නැත. එවන් තත්වයක සිටින ශ්‍රී ලංකාවට දුරින් හෝ ඥාතිකමක් තිබෙන පුද්ගලයෙකු ලෝකය තුළ සිටී නම් ඔහු හෝ ඇය විශේෂිත වෙයි.
ලොව ජනප්‍රිය ක්‍රීඩා අතුරින් පාපන්දු ක්‍රීඩාව මුල්තැන හිමිකර ගනිද්දී, එංගලන්තය තුළද පිරිමි මෙන්ම කාන්තා අංශයේද බෙදීමක් නොමැති තරමටම
ඊට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එංගලන්තය තුළ පැවැත්වෙන එවන් ගෞරවාන්විත තරඟාවලි අතුරින් එෆ්.ඒ. කුසලාන කාන්තා සුපර් ලීගය යනු ප්‍රධාන තැනක් හිමිවන තරඟාවලියකි. කෙසේ නමුත් මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවටද වඩාත් සුවිශේෂී වෙයි.

එෆ්.ඒ. කුසලාන කාන්තා සුපර් ලීගය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වන අතර, ඉන් වෙස්ට් හැම් යුනයිටඩ් කාන්තා පාපන්දු කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාවක වන ජසින්ටා ගලබඩආරච්චි ක්‍රීඩා කරනු ලබයි. එංගලන්ත පාපන්දු ඉතිහාසය තුළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාවක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.

වෙස්ට් හැම් කණ්ඩායමේ ඉදිරිපෙළ (Forward) ක්‍රීඩිකාවක ලෙස කටයුතු කරන ජසින්ටා, 2019 වසරේ සිට එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින්නීය. වෙස්ට් හැම් වෙනුවෙන් ඇය මේ වනවිට තරඟ 11කට ක්‍රීඩා කර ඇත.

ජසින්ටා ප්‍රේමා ඩී නීවා ගලබඩආරච්චි ඇගේ සම්පූර්ණ නම වන අතර, ඇගේ පියා ශ්‍රී ලාංකිකයෙකු බැවින් ගලබඩආරච්චි පෙළපත් නාමය ලැබී ඇත. තවමත් 19 හැවිරිදි වියේ පසුවන ජසිසින්ටා 2001 වසරේදී ඔට්‍රේලියාවේදී උපත ලැබීය.

කෙසේ නමුත් ඇයට ඔට්‍රේලියානු පුරවැසිභාවයට අමතරව ඇගේ මුත්තා සහ මිත්තණිය හරහා ඉතාලි පුරවැසිභාවයද හිමිව ඇති බව සඳහන් වෙයි. වයස අවුරුදු පහේ සිටම ජසින්ටා පාපන්දු ක්‍රීඩාවට විශේෂීත වූදක්‍ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවක වන අතර, ඊට ඇගේ සහෝදරයා පාපන්දු ක්‍රීඩා කරන අයුරු දැකීමද හේතුවක් වී ඇත.

කුඩා කළ සිටම පාපන්දු ක්‍රීඩාවට ජසින්ටා සතු නිසඟ හැකියාව නිසාම වයස අවුරුදු නවයේදීම ඇය එංගලන්තයේ ජනප්‍රිය මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ පුහුණුවකට පවා පැමිණ ඇත. ඉන් පසුව මැචෙස්ටර් සිට කාන්තා පාපන්දු ඇකඩමියෙන්ද පුහුණුවක් සඳහා ජසින්ටාට ඇරයුමක් ලැබූ අතර, ඒ අනුව ඇය සති අටක පුහුණුවකටද සහභාගි වූවාය.

පිරිමි කණ්ඩායම් සමඟද කරට කර තරඟ කිරීමේ හැකියාවක් ඇති ජසින්ටා වයස අවුරුදු 14දී ඔස්ට්‍රේලියානු පිරිමි ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කරන අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පවා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් වික්ටෝරියානු පාපන්දු සම්මේලනය විසින් ඇගේ ඉල්ලීම ප්‍රතිෂ්ප කරන ලදී.

කෙසේනමුත් ජසින්ටා 2016 වසරේදී මෙල්බර්න් සිටි කණ්ඩායමට එක්වූ අතර, 2016-17 තරඟවාරයේදී එම කණ්ඩායම වෙනුවෙන් තරඟ පහකට සහභාගි විය. ඉන් අනතුරුව ඇය එංගලන්තයට ගොස් විවිධ ක්‍රීඩා සමාජ හා එක්වී පුහුණුවීම් කළාය. කෙසේනමුත් ඒ වනවිට ඇයට අවුරුදු 18ක් සම්පුර්ණ වී නොතිබූ නිසා කිසිඳු ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුමකට එළඹීමට නොහැකි විය.

ජසින්ටා 2018 වසරේදී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, එහිදී 2018-19 ඔස්ට්‍රේලියානු කාන්තා ලීගයට ක්‍රීඩා කිරීම සඳහා පර්ත් ග්ලෝරි කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවූවාය. ඉන් අනතුරුව ඇය 2019 වසරේදී නැවත වරක් එංගලන්තයට ගිය අතර, එහිදී ඇය වෙස්ට් හැම් යුනයිටඩ් සමඟින් එක් විය.

ජසින්ටා 2016 -2018 කාල සීමාවේදී ඔස්ටේලියානු වයස අවුරුදු 17න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර, 2018 වසරේ සිට මේ දක්වා එරට අවුරුදු 20 පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සිටියි. 2017 වසරේ පෘතුගාලයේ පැවැති ඇල්ගාර්ච් කුසලාන පාපන්දු තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඔස්ටේලියානු - කාන්තා පාපන්දු කණ්ඩායම හෙවත් මැටිල්ඩාස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහාද ජසින්ටා සංචිත ගත වුවාය.

- විශ්ව මුදියන්සේ -