නුගේගොඩ, පැඟිරිවත්ත පාරේ, කුලී නිවසක හුදකලාව වාසය කළ පුද්ගලයෙකු අබිරහස් ලෙස මිය ගොස් සිටියදී පෙරේදා (07දා) සොයාගත් බව මිරිහාන පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි  අයෙකි.




මෙම පුද්ගලයා මහරගම නගරයට ගොස් පසුගිය 06වැනිදා දහවල් නැවත කුලී නිවසට පැමිණ ඇතත් නැවත ඔහු යළි නොදැකීම හේතුවෙන් නිවසේ හිමිකරු ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙම පුද්ගලයා කාමරයක් තුළ මියගොස් සිටිනු දැක ඇති බව පැවසේ. ඒ අනුව නිවසේ හිමිකරු ඒ පිළිබඳව පොලීසියට දැන්වීමත් සමඟ පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ නිවසේ කාමරේක ඇඳක් මත මියගොස් සිටි පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව එම ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂණ ආයතන නිලධාරියාද පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.

අනතුරුව මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

මෙය ඝාතනයක්ද නැතහොත් සාමාන්‍ය මරණයක්ද යන්න පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ පොලිස් සැරයන් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

ශාන්ත ප්‍රදීප් කූමාර