දි අයිලන්ඩ් පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කතෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජබාර් (60) මහතා සිය නිවසේ අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් අදාළ මරණ පරීක්ෂණයේදී කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ.බත්තරමුල්ල මද්දුමගෙවත්ත ප්‍රදේශයේ, පීරිස් මාවතේ පිහිටා තිබූ නිවස මියගිය සැකී ජබාර්ගේ වැඩිමල් සොයුරාට අයත්වූවකි.
සොයුරා ඔහුට එහි වාසය කරන්නට ඉඩ දී තිබුණ අතර මීට කලකට පෙර සැකී ජබාර්ගේ වයෝවෘද්ධ මවද එහි විසුවාය.(ඇය මේ වනවිට මියගොස් තිබේ) විවාහයක් සිදු කරගෙන නැති සැකී ජබාර් මහතා මෙම නිවසේ තනිවම ජීවත්වී ඇති අතර මාධ්‍ය කටයුතුවල දවස පුරා නිරතවූ ඔහු අවට නිවැසියන් සමගද විශේෂ සම්බන්ධතා පවත්වා නැත.ඉකුත් අගෝස්තු 19 වැනි දින අවසන්වරට අන්තර්ජාලයේ වට්ස් ඇප් පණිවිඩයක් ඔහුගේ නමින් සටහන්වූ නමුත් අනතුරුව ඔහු ගැන කිසිම තැනක සඳහනක් තිබී නැත.

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ උපාලි පුවත්පත් ආයතනයේ දි අයිලන්ඩ් පුවත්පතේ සේවය කරන්නෙකුවූ ඔහු දිගින් දිගටම නිවාඩු පිට සිටීම ඔහුගේ ප්‍රධානියාට මෙන්ම හිතවතුන්ට මුලදී එතරම් දැනී නැති මුත් සති දෙකක් තුනක් ඉක්මවෙද්දීත් ඔහුගේ දුරකථනයවට උත්තර නැතිවීම  හා සමාජ මාධ්‍ය චැට් වලට ඔහු එක්කාසු නොවීම ගැටලුවක් වී තිබේ.

මේ අතරවාරයේ සැකී ජබාර්ට ආරාධනා කර තිබුණ මංගල උත්සවයකටද ඔහු පැමිණ නොතිබූ අතර ඒ සඳහා ගිය සැකීගේ සොයුරියක හා වැඩිමල් සොයුරු එහිදී ඔහුගේ නොපැමිණීම ගැන සැක ඇතිවී ඔහුට දුරකථන ඇමතුම් ගත්තත් අනෙක් කෙළවරින් ප්‍රතිචාර ලැබී නැත. මාධ්‍ය කටයුතු වල නිරන්තරයෙන්ම කාර්ය බහුලව යෙදෙන තම සොයුරා එම දිනයේත් එවැනි කටයුත්තක යෙදී ඇතැයි සිතා ඔහු ගැන විශේෂ උනන්දුවක් දක්වා සොයා බලන්නට ඥාතීන් උනන්දුවී නැත.

 දින 20 ක පමණ කාලයක සිට ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොතිබූ නිසා දි අයිලන්ඩ් පත්තරයේ සැකීගේ හිතවතෙකු සැකීගේ වැඩිමල් සොයුරා අමතා ඇත්තේ ඉන්පසුවය.  මංගල උත්සවයටද තම සොයුරා ආවේ නැති බැවින් සැකී ගැන සොයා බැලිය යුතුය යන අදහස වැඩිමල් සොයුරාට එම අවස්ථාවේ ඇතිව තිබේ.

සොහොයුරා සැකී පදිංචිව සිටි පැලවත්ත නිවසට පැමිණ සෝදිසි කර ඇත්තේ පෙරේදා රාත්‍රියේය.

ඔහු නිවසට එන විට නිවසේ දොර ජනෙල් සියල්ල වැසී තිබී ඇති අතර කිසිදු අයෙකු නිවසේ නැති ස්වරූපයක් දිස්වී තිබේ. නිවසේ ඇතුළේ සැකී සිටිනු ඇතැයි සැකයට නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුලු වීමට අනතුරුව සොයුරා උත්සාහ කළේය. එම අවස්ථාවේ ඔහු දුටු දෙයින් තිගැස්සිණි. සැකී ජබාර් මහතා නිවසේ නාන කාමරය අසල වැටී සිටින අයුරු නිවසට ඇතුළු  වූ සොහොයුරාට දැකගන්නට ලැබී තිබේ.

ඔහු මියගොස් ඇති අයුරක් පෙනී ගොස් ඇති අතර සිරුර ආසන්නයට ළඟාවන්නට අපහසු තරමට මළ සිරුර තුළින් දුගඳ වහනය  වෙමින් තිබී ඇත. පසුව සොහොයුරා සිද්ධිය තලංගම පොලිසියට දැනුම් දුන් පසුව තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින්ද දිල්රුක් මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ  පරික්ෂණ ආරම්භ කර තිබිණි. නිවසේ කිසිවක් ඇද දමා නොමැති බවත්, කිසිවකු නිවසට ඇතුළු වූ බවට කිසිදු සඳහන් නොමැති බවද පොලිසිය පවසයි. මියයන අවස්ථාවේ ඔහු නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බවද පොලිසිය කියයි.

  

මළ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් දක්නට නොලැබුණ බව පවසන පොලිසිය කිසියම් රෝගී තත්වයක් උත්සන්න වීමෙන් මරණය සිදුවන්නට ඇතැයි සැකකරයි.ඔහු නිවස තුළ මියගොස් ඇති බවට මළ සිරුර සොයා ගන්නා තෙක්ම කිසිවකු දැනසිට නොමැති බව තලංගම පොලිසිය  පවසයි. මීට සතියකට පමණ පෙර ඔහු මිය යක්නට ඇති බවට සැකකරන බවත් නිවෙසේ සියලු දොර ජනෙල් වසා තිබීම නිසා මළ සිරුරේ දුඟඳ පිටතට පැතිරි  නොමැති බවත් පොලිසිය පවසයි.

 මියගිය අයගේ මරණය සම්බන්ධයෙන්  මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා  පවත්වා තිබුණි. මූලික මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සිදුවිය.

අවිනිශ්චිත හේතුවක් මත සිදුවූ මරණයක් බව ද අපරාධයකට අදාළ මරණයකට තුඩුදිය හැකි අභ්‍යන්තර තුවාල නැති බව ද ඒ අනුව මෙය ස්වභාවික මරණයක් ලෙස නිගමනය කළ හැකි යැයි කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර සමීර ගුණරත්න මහතා නිගමනය කළේය. 

ඊයේ සවසම ඔහු සම්බන්ධ අවසන් කටයුතු මුස්ලිම් චාරිත්‍ර අනුව සිදු කෙරිණි.

වසර 30 ට අධික කාලයක් දි අයිලන්ඩ්  පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදියකු වූ සැකී ජබාර් මහතා ව්‍යාපාරික, පාර්ලිමේන්තු, අධිකරණ යන ක්ෂේත්‍රවල ප්‍රවෘත්ති සම්පාදනයේ යෙදී  සිටියේය. ඔහු වැඩි වශයෙන් එජාපය හා සම්බන්ධ දේශපාලන වාර්තා සම්පාදනය කර තිබුණි.